Last Update  :  2025-08-03 21:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket සී.සී.සී. ශූරතාව දිනාගනී
අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලිය

සී.සී.සී. ශූරතාව දිනාගනී

editorial - 2025 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පොලිස් පිලේ අවසන් කඩුලු පහම ලකුණු 46 ක් ඇතුළත බිම දැමූ සී.සී.සී. ක්‍රීඩකයෝ අන්තර් ක්‍රීඩා සමාජ (ප්‍රධානතම) එක්දින තරගාවලියේ ශූරතාව දිනාගත්හ. කොළඹ සී.සී,සී. පිටියේදී අද (30 වැනිදා) අද පැවැති අවසන් මහ තරගයේදී සී.සී.සී, ක්‍රීඩකයෝ ලකුණු 187 ක දැවැන්ත ජයක් අත්කර ගත්හ. 

ලකුණු 388 ක ඉලක්කයක් කරා ගිය පොලිස් කණ්ඩායම ඕවර 40.2 කදී ලකුණු 200 කට දැවී ගියේය. 

වරෙක ලකුණු 154 කට කඩුලු 5 ක් දැවී සිටි පොලිස් පිලේ අවසන් කඩුලු 5 ම ලකුණු 46 කට බිඳ වැටිණ. ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගත් ඉනුක කරන්නාගොඩ පොලිස් පිලේ අවසන් පිතිකරුවන්ගෙන් තිදෙනකුට වගකී නමුත් පොලිසිය අමාරුවේ වැටුණේ ඕවර 14 ක් ඇතුළත ලකුණු 86 කට කඩුලු 5 ක් දැවී යාම හේතුවෙනි. නායක අශේන් බණ්ඩාර දැවී යාමෙන්  පසුව පොලිසියට ගොඩ ඒමක් නොමැති විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් සී.සී,සී. පිල වෙනුවෙන් අවසන් ඕවර 5 දී ලකුණු 86 ක් උදුරාගත් පවන් රත්නායක (නොදැවී 158), සොනාල් දිනූෂ (53) සහ චමිඳු විජේසිංහ (නොදැවී 10) තිදෙනා, ලකුණු 387 ක් දක්වා සී.සී.සී. පිල ඔසවා තැබූහ. පොලිසියේ පන්දු යවන්නන්ට අනුකම්පාවකින් තොරව පහර දුන් මෙම පිතිකරුවන් අතුරින් සම්මත නමුත් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක, 43 වැනි ඕවරය යැවූ නලීන් ප්‍රියදර්ශනගේ ඕවරයකදී හයේ පහර 4 ක් සමගින් ලකුණු 25 ක් ලබාගත්තේය. 

නලීන් සිය ඕවර 7 අවසන් කළේ ලකුණු 69 ක් තිළිණ කිරීමෙන් පසුවය. දිලුම් සුධීරගෙන් ලකුණු 74 ක් උදුරාගත් සී.සී.සී. පිතිකරුවෝ, පොලිස් පිලේ ආරම්භක පන්දු යවන්නා වූ චාරුක ප්‍රමෝද්ගෙන් ලකුණු 92 ක් උදුරා ගත්හ. 

අවසන් ඕවර 10 දී පවන් රත්නායක, සොනාල් දිනූෂ සහ චමිඳු විජේසිංහ තිදෙනා එක්ව කළ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 12, 5, 26, 8, 6, 15, 19, 21, 17 සහ 14 ක් ලෙසිනි. ඉනිම නිමා වන විට පවන් රත්නායක පන්දු 94 කින් ලබාගත් ලකුණු 158 ට හතරේ පහර 13 ක් සහ හයේ පහර 9 ක් ඇතුළත් වී තිබිණ. පවන් සමගින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 190 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සොනාල් දිනූෂ පන්දු 51 කින් ලකුණු 53 ක් ලබාගත්තේය. 

කාසියේ වාසිය දිනාගත් සී.සී.සී. නායක සොනාල් දිනූෂට පළමුවෙන් පිතිහරඹය තෝරා ගැනීම සම්බන්ධයෙන් කිසිදු පැකිළීමක් නොතිබිණ. එහෙත් පොලිස් පිලේ ආරම්භක පන්දු යවන්නා වූ චාරුක ප්‍රමෝද් ලකුණු 25 ක් ඇතුළත ලසිත් කෲස්පුල්ලේ සහ ධනංජය ද සිල්වා දෙදෙනාවම පිටියෙන් ඉවත් කළේය. පොලිසියේ අභාග්‍යය උදාවූයේ එතැනිනි. 

ධනංජය ආපසු ක්‍රීඩාගාරයට යාමත් සමගින් ආරම්භක පිතිකරුවා වූ නිශාන් මධුෂ්කට (88) එක්වූ කමිඳු මෙන්ඩිස් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 111 කදී ලකුණු 130 ක් එකතු කරමින් තරගයේ තාලය වෙනස් කළේය. ලකුණු 17 ක් ඇතුළත ඔවුන් දෙදෙනාම දැවී ගිය නමුත් පසුව පැමිණි පවන් රත්නායක සහ සොනාල් දිනූෂ පොලිස් පන්දු යවන්නන්ට පහර දුන්නේ ගිණිකෙළි සංදර්ශනයක් සිහිපත් කරමිනි. 

සී.සී.සී. කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 387 යි
(නිශාන් මධුෂ්ක 88, කමිඳු මෙන්ඩිස් 59, පවන් රත්නායක නොදැවී 158, සොනාල් දිනූෂ 53, චමිඳු විජේසිංහ නොදැවී 10, චාරුක ප්‍රමෝද් 92/2)

පොලිසිය - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 200 යි
(ධනුජ ඉඳුවර 10, නදීර බාලසූරිය 11, කුසල් ජනිත් පෙරේරා 31, විශාද් රන්දික 22, ප්‍රියමාල් පෙරේරා 57, ජේසන් ප්‍රනාන්දු 26, නලීන් ප්‍රියදර්ශන 19, චමිඳු විජේසිංහ 36/2, ඉනුක කරන්නාගොඩ 32/4)


අදහස් (0)

සී.සී.සී. ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.