
(දමින්ද විජේසූරිය)
වමතින් දඟ පන්දු යවන දිලුම් සුධීරගේ විශිෂ්ට පන්දු යැවීම නිසා කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පහසුවෙන්ම පරාජය කළ පොලිස් ක්‍රීඩකයෝ අන්තර් ක්‍රීඩා සමාජ (එක්දින) සීමිත ඕවර තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. කොළඹ සී.සී.සී. පිටියේදී අද (25 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී පොලිස් පිල විසින් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 4 කින් පරාජය කරන ලදි.
දිලුම් සුධීරගේ පන්දු යැවීම හමුවේ සියලු අවස්ථා අවහිර කරගත් කෝල්ට්ස් ක්‍රීඩකයෝ ලකුණු 143 කට දැවී ගියහ. පොලිස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 144 ක් ලබාගන්නා විට ඕවර 15 කට ආසන්න සංඛ්‍යාවක් ඉතිරිව තිබිණ.
පොලිසිය වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ විශාද් රන්දික (36) සහ නායක අශේන් බණ්ඩාර (නොදැවී 55) තම කණ්ඩායම ජය මාවතට කැඳවාගෙන ආහ. රන්දික දැවී යාමෙන් පසුව කණ්ඩායමේ බර තනිවම කරට ගත් නායකයා, පන්දු 84 කට මුහුණ දෙමින් ලකුණු 55 ක් ලබාගත් අතර කණ්ඩායම ජයටැඹ පසුකරන තුරම කඩුල්ලේ රැඳී සිටියේය.
කාසියේ වාසිය දිනාගත් පොලිස් පිල පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. පොලිස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දිලුම් සුධීර සිය ඕවර 9 ලකුණු 36 කට සීමාකරගනිමින්, කඩුලු 4 ක් දවාගත්තේ හිස එසවීමේ අවස්ථාව කෝල්ට්ස් පිලට අහිමි කරමිනි.
දිලුම් කඩුලු දඩයම පටන් ගත්තේ දිනේෂ් චන්දිමාල් ලකුණු 30 කට දවාගනිමිනි.
තරගයේ තුන්වැනි ඕවරයේදීම කෝල්ට්ස් පිලේ කඩුලු 2 ක් දැවී ගිය නමුත් දිනේෂ් චන්දිමාල් (30) සහ ධනංජය ලක්ෂාන් (33) එක්ව තම කණ්ඩායම ඉදිරියට ගෙන යමින් සිටියහ. එහෙත් පන්දුව අතට ගත් දිලුම් සුධීර, පළමුවෙන්ම චන්දිමාල් පිටියෙන් ඉවත් කළේය. ඒ වන විට පුවරුවේ තිබුණේ ලකුණු 41 කි.
චන්දිමාල් දැවී ගිය නමුත් ධනංජය ලක්ෂාන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ හෙයින් 17 වැනි ඕවරය වන විට කඩුලු 3 කට 78 ක් ලෙසින් ලකුණු පුවරුව දිස්විය. එහෙත් එතැන් සිට නැවත වරක් ක්‍රියාත්මක වූ සුධීර, සටන ගෙන යමින් සිටි පිතිකරුවා වූ ධනංජය ලක්ෂාන් පිටියෙන් ඉවත් කිරීමෙන් පසුව කෝල්ට්ස් පිලේ අවසන් කඩුලු 7 ම ලකුණු 65 ක් තුළ ඇද වැටිණ.
ඉනිමේ පසු කොටසේදී ක්‍රියාත්මක වූ ධනුජ ඉඳුවර ඕවර 6 කදී ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගත්තේ දිලුම් සුධීරට අනගි සහයෝගයක් දෙමිනි.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය - ඕවර 39 කදී සියලු දෙනා දැවී 143 යි
(දිනේෂ් චන්දිමාල් 30, ධනංජය ලක්ෂාන් 33, ඇන්ජලෝ මැතිව්ස් 29, කවිශ්ක අංජුල 11, මුදිත ලක්ෂාන් 15, අකිල ධනංජය 12, චාරුක ප්‍රමෝද් 13/2, දිලුම් සුධීර 36/4, ධනුජ ඉඳුවර 24/3)
ශ්‍රී ලංකා පොලිසිය - ඕවර 35.5 කදී කඩුලු 6 ක් දැවී 144 යි
(නදීර බාලසූරිය 10, කුසල් ජනිත් පෙරේරා 15, විෂාද් රන්දික 36, අශේන් බණ්ඩාර නොදැවී 55, ඩිල්ෂාන් මධුශංක 41/2, දුනිත් වෙල්ලාලගේ 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.