Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports හැමිල්ටන් 100 වැනි ගෝන් ප්‍රී ජයග්‍රහණය ලබයි

හැමිල්ටන් 100 වැනි ගෝන් ප්‍රී ජයග්‍රහණය ලබයි

editorial - 2021 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියාවේ සෝචි ධාවන පථයේදී අද (26 වැනිදා) පැවැති රුසියානු ගෝන් ප්‍රී තරගය ජයගනිමින් තම ගෝන් ප්‍රී ජයග්‍රහණ සංඛ්‍යාව 100 ක් දක්වා ඉහළ දමාගැනීමට මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් සමත් විය. වැඩිම ගෝන් ප්‍රී ජයග්‍රහණ සංඛ්‍යාවකට හිමිකම් කියමින් මයිකල් ෂූමාකර් (91) තබා තිබූ වාර්තාව ඉකුත් වසරේදී (2020) බිඳදැමූ හැමිල්ටන්, මෙම ජයග්‍රහණයත් සමග ගොන් ප්‍රී තරග 100 ක් ජයගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත් විය.

මෙම වසර (2021) තුළ පැවැත්වෙන ෆෝමියුලා-I තරග මාලාවේ 15 වැනි ගෝන් ප්‍රී තරගය මෙය වූ අතර එහිදී හැමිල්ටන් ලැබූ පස්වැනි ජයග්‍රහණයද මෙය විය. වට 53 කින් සමන්විත වූ සමස්ත තරගය නිමා කිරීම සඳහා හැමිල්ටන්ට පැය 1 යි, විනාඩි 30 යි, තත්පර 41.001 ක කාලයක් ගතවිය. මෙම ජයග්‍රහණයත් සමග ලකුණු 25 ක් ලබාගත් හැමිල්ටන්, මුලු ලකුණු 246.5 ක් ලබා රියදුරන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණීමටද සමත් විය.

සුදුසුකම් ලැබීමේ අදියරේදී එක් වටයක් නිමා කිරීම සඳහා විනාඩි 1 යි, තත්පර 44.050 ක අවම කාලයක් වාර්තා කිරීම හේතුවෙන් සිවුවැනි  ස්ථානයේ සිට තරගය ආරම්භ කළ හැමිල්ටන්, තරගය තුළදී වටයක් නිමා කිරීම සඳහා වැය කළ අවම කාලය විනාඩි 1 යි, තත්පර 37.575 කි. තරග ආරම්භයේදී තමාට වඩා ඉදිරියෙන් සිටි ලැන්ඩෝ නොරිස් (මැක්ලරන් මර්සිඩීස්), කාර්ලෝස් සේන්ස් (ෆෙරාරි) සහ ජොජ් රසල් (විලියම් මර්සිඩීස්) පසුපසට ඇද දමමින් හැමිල්ටන් මෙම ජයග්‍රහණය වාර්ත‍ා කළේය.

හැමිල්ටන්ට වඩා තත්පර 53.271 ක් පසුපසින් තරගය නිමා කළ රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් සහ තත්පර 62.475 ක් පසුපසින් තරගය නිමා කළ ෆෙරාරි කණ්ඩායමේ කාර්ලෝස් සේන්ස් පිළිවෙලින් රුසියානු ගෝන් ප්‍රී තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ. මෙම තරගයේ දෙවැනි ස්ථානයට පත්වීම හේතුවෙන් වර්ස්ටපන්ට (ලකුණු 244.5) රියදුරන් ශ්‍රේණිගත කිරීම්හිද දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.

හැමිල්ටන් සහ වෙල්ටරි බොටාස් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම මේ වන විට ලකුණු 397.5 ක් ලබා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටියි. වර්ස්ටපන් සහ සර්ගියෝ පෙරේස් නියෝජනය කරන රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම ලකුණු 364.5 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවේ. මැක්ලරන් මර්සිඩීස් කණ්ඩායම ලකුණු 234 ක් ලබා තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ඩැනියෙල් රිකාඩෝ සහ ලැන්ඩෝ නොරිස් එම කණ්ඩායම නියෝජනය කරති.

මෙම තරගයෙන් අනතුරුව තවත් ගෝන් ප්‍රී තරග 6 ක් පැවැත්වීමට නියමිත අතර තුර්කි (ඔක්. 10), ඇමරිකානු (ඔක්. 24), මෙක්ස්කෝ (‍නොවැ. 07), බ්‍රසීල (නොවැ. 14), සවුදි ආරාබි (දෙසැ. 05) සහ අබුඩාබි ‍(දෙසැ. 12) ‍එම ගෝන් ප්‍රී තරග වේ.   

තරග ප්‍රතිඵල

1 ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්) - පැය 1:30:41.001
2 මැක්ස් වර්ස්ටාපන් (රෙඞ්බුල් රේසිං හොණ්ඩා) - පැය 1:31:34.272
3 කාර්ලෝස් සේන්ස් (ෆෙරාරි) - පැය 1:31:43.476
4 ඩැනියෙල් රිකාඩෝ (මැක්ලරන් මර්සිඩීස්) - පැය 1:31:46.608
5 වෙල්ටරි බොටාස් (මර්සිඩීස්) - පැය 1:31:48.534
6 ෆර්නෑන්ඩෝ ඇලන්සෝ (ඇල්ෆයින් රෙනෝල්ට්) - පැය 1:32:02.322
7 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන් මර්සිඩීස්) - පැය 1:32:08.225
8 කිමී රයිකොනෙන් (ඇල්ෆා රෝමියෝ රේසිං ෆෙරාරි) -  පැය 1:32:09.956
9 සර්ගියෝ පෙරේස් (රෙඞ්බුල් රේසිං හොණ්ඩා) - පැය 1:32:11.077
10 ජොජ් රසල් (විලියම්ස් මර්සිඩීස්) - පැය 1:32:21.552

 

- 036


අදහස් (0)

හැමිල්ටන් 100 වැනි ගෝන් ප්‍රී ජයග්‍රහණය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.