Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports සෞදි අරාබි ගෝන් ප්‍රී තරග සැලසුම් කළ පරිදිම

සෞදි අරාබි ගෝන් ප්‍රී තරග සැලසුම් කළ පරිදිම

editorial - 2022 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජෙඩා හි පිහිටි ෆෝමියුලා I කාණ්ඩයේ ධාවන පථයට පෙනෙන විශාල ගින්නක් ඇති කළ තෙල් මධ්‍යස්ථානයකට යේමන කැරලිකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කළද සෞදි අරාබියේදී පැවැත්වීමට නියමිත ෆෝමියුලා I ගෝන් ප්‍රී  තරගාවලිය සැලසුම් කළ පරිදිම පැවැත්වෙන බව ෆෝමියුලා I බලධාරීහු කියති.

කැරළිකරුවන්ගේ ප්‍රහාරය හේතුවෙන් ජෙඩා නුවර පිහිටි ‘ඇරැම්කෝ’ තෙල් පිරිපහදුව හරහා ගිනිදැල් පැතිරී ගිය අතර සිකුරාදා (25 වැනිදා) පුහුණුවීම් කරමින් සිටි රියදුරන්ට ධාවන පථයේදී පවා ගින්නේ දුගඳ දැනී තිබේ.

මෙම තත්ත්වය අනුව තරඟය සමඟ ඉදිරියට යා යුතුද යන්න පිළිබඳව රියදුරන් කණ්ඩායම් ප්‍රධානීන් සහ ෆෝමියුලා I  ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆානෝ ඩොමිනිකාලි සහ කළමනාකාර අධ්‍යක්ෂ රොස් බ්‍රවුන් සමඟ පැය හතරකට ආසන්න රැස්වීමක් පැවැත්විණ.

“ඒක මට දැන්ම කියන්න බැහැ”  යයි රියදුරු සංගමයේ නියෝජිත බි්‍රතාන්‍යයේ ජෝර්ජ් රසල් පවසන නමුත් කණ්ඩායම් ප්‍රධානීන් කිහිප දෙනෙකු  “අපි තරඟ කරනවා” යයි සහතික වී තිබේ. සෙනසුරාදා (අද) අලුයම 2:20 ට අවසන් වූ රැස්වීමෙන් පසු, රෙඩ්බුල් හි මෙක්සිකානු රියැදුරු සර්ජියෝ පෙරෙස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ ඉරිදා තරඟයට යාමට තීරණය කළ බවයි.  

ෆෝමියුලා I ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆානෝ ඩොමිනිකාලි මහතා කලින් අවධාරනය කර තිබුණේත්  සති අන්තයේ තරග සැලසුම් කළ පරිදිම පැවැත්වෙන බවකි.

ඩොමිනිකාලි මහතා සහ ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනයේ එනම් මෝටර් රථ ක්‍රීඩාවේ අන්තර්ජාතික පාලක මණ්ඩලයට අලුතින් තේරී පත් වූ සභාපති මොහොමඩ් බෙන් සුලේම් මහතා යන දෙදෙනාම රියදුරන් සහ කණ්ඩායම් ප්‍රධානීන් හමුවී තත්ත්වය පාලනය කරගත හැකිබව පිළිබඳ සහතිකයක් දීමට උත්සාහ කළහ.

“රටට සහ පවුල් සඳහා මෙහි ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ සහතිකයක් අපට ලැබී තියෙනවා”  යයි ඩොමිනිකාලි මහතා පළමු රැස්වීමෙන් පසුව පැවසීය.

“අපි සියලු දෙනාම ආරක්ෂාවට මුල් තැන දී තිබෙන්නේ. මේ ප්‍රදේශය සහ අප යන නගරය ආරක්ෂා කිරීමට සහතිකයක් ලැබී තියෙනවා”

“ප්‍රශ්නය වන්නේ මෙම කැරලිකරුවන් ඉලක්ක කරන්නේ කාවද කියන එකයි? එය සිවිල් ජනතාව නොවෙයි. ආර්ථික යටිතල පහසුකම් මිස මෙම ධාවන පථයත් නොවේ. මෙය ආරක්ෂිත ස්ථානයක් වන අතර කිසිවක් සිදු නොවන බවට අපට ඉහළ මට්ටමේ සහතිකයක් තිබෙනවා” යයි මෝටර් රථ ක්‍රීඩාවේ අන්තර්ජාතික පාලක මණ්ඩලයට අලුතින් තේරී පත් වූ සභාපති මොහොමඩ් බෙන් සුලේම් මහතා වැඩිදුරටත් පැවසීය.

ලෝක ශූර මැක්ස් වර්ස්ටැපන් පළමු පුහුණු සැසියට සහභාගි වෙමින් සිටියදී ගින්නේ දුඟඳ දැනගත් රියදුරන්ගෙන් කෙනෙකි.

“මට පිච්චෙනවා ගඳක් එනවා... මේ මගේ කාර් එකද?” ඕලන්ද ජාතිකයා තම කණ්ඩායම් ගුවන් විදුලියෙන් පැවසීය. එහෙත් එය ඔහුගේ මෝටර් රථය නොව, තෙල් පිරිපහදුවේ ගින්නෙන් නැඟී ආ දුඟඳ විය.

සිකුරාදා කෙරුණු ප්‍රහාරය, ප්‍රධාන මානුෂීය අර්බුදයක ග්‍රහණයේ සිටින රටක් වන යේමනයේ හූතිවරුන්ට එරෙහිව සෞදි ප්‍රමුඛ සන්ධානයක හමුදා මැදිහත්වීමේ හත්වන සංවත්සරයට පෙරාතුව කළ ප්‍රහාර රැල්ලක කොටසකි. ඉරානයේ පිටුබලය ලබන කැරලිකරුවන්ට එරෙහිව සෞදි ප්‍රමුඛ සන්ධානයක හමුදා සටන් කරති. එම සන්ධානයට එරෙහිව ජෙඩා තෙල් පිරිපහදුවට ප්‍රහාරය එල්ල කෙරිණ.

“ඔවුන් උත්සාහ කරන්නේ ලෝක ආර්ථිකයේ ස්නායු කේන්ද්‍රයට බලපෑම් කිරීමටයි... මෙම ප්‍රහාර වලින් ජෙඩාහි ජන ජීවිතයට කිසිදු බලපෑමක් නැත” යයි සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

 

- 213

 


අදහස් (0)

සෞදි අරාබි ගෝන් ප්‍රී තරග සැලසුම් කළ පරිදිම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.