Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports සිරියානු ගෝන් ප්‍රී තරගයේ ජය වර්ස්ටාපන්ට

සිරියානු ගෝන් ප්‍රී තරගයේ ජය වර්ස්ටාපන්ට

editorial - 2021 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඔස්ට්‍රියාවේ ස්පීල්බර්ග්හි රෙඩ්බුල් ධාවන පථයේදී ඊයේ (27 වැනිදා) පැවැති සිරියානු ගෝන් ප්‍රී තරගය ජයගැනීමට රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටාපන් සමත් විය. මෙම වසර (2021) තුළ පැවැත්වෙන ෆෝමියුලා-I තරග මාලාවේ අටවැනි ගෝන් ප්‍රී තරගය මෙය වූ අතර එහිදී වර්ස්ටාපන් ලැබූ සිවුවැනි ජයග්‍රහණයද මෙය විය.

වට 71 කින් සමන්විත වූ සමස්ත තරගය නිමා කිරීම සඳහා වර්ස්ටාපන්ට  පැය 1 යි, විනාඩි 22 යි, තත්පර 18.925 ක කාලයක් ගතවිය. මෙම ජයග්‍රහණයත් සමග ලකුණු 25 ක් ලබාගත් වර්ස්ටාපන්, මුලු ලකුණු 156 ක් ලබා තවදුරටත් රියදුරන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ රැකගැනීමටද සමත් විය.

සුදුසුකම් ලැබීමේ අදියරේදී එක් වටයක් නිමා කිරීම සඳහා විනාඩි 1 යි, තත්පර 03.841 ක අවම කාලයක් වාර්තා කිරීම හේතුවෙන් අංක එක ස්ථානයේ සිට තරගය ආරම්භ කළ වර්ස්ටාපන්, තරගය තුළදී වටයක් නිමා කිරීම සඳහා වැය කළ අවම කාලය විනාඩි 1 යි, තත්පර 08.017 කි.

වර්ස්ටාපන් වඩා තත්පර 35.743 ක් පසුපසින් තරගය නිමා කළ මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් සහ තත්පර 46.907 ක් පසුපසින් තරගය නිමා කළ මර්සිඩීස් කණ්ඩායමේම වෙල්ටරි බොටාස් පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ. බොටාස් දෙවැනි ස්ථානයේ සිටද, හැමිල්ටන් තෙවැනි ස්ථානයේ සිටද තරගය ආරම්භ කළහ.

මෙම තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් හැමිල්ටන්ට ලකුණු 19 ක් හිමිවූ අතර මේ වන විට මුලු ලකුණු 138 ක් ලබා සිටින ඔහු ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ රැදී සිටියි. මෙතෙක් පැවැති තරග 8 න් 3 ක ජයග්‍රාහකයා වන ඔහු මේ වසරේදී සිය 8 වැනි ලෝක ශූරතාව හඹායමින් සිටියි‍.

මෙම තරගයේදී සිවුවැනි ස්ථානයට පත්වෙමින් ලබාගත් ලකුණු 12 ත් සමග මුලු ලකුණු ලකුණු 96 ක් හිමිකර ගැනීමට රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ සර්ගියෝ පෙරේස් සමත්ව සිටින අතර මේ වන විට ඔහු ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවෙයි. මුලු ලකුණු 74 ක් ලබා සිටින බොටාස්ට හිමිව ඇත්තේ එහි 5 වැනි ස්ථානයයි.

වර්ස්ටාපන් සහ පෙරේස් නියෝජනය කරන රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම මේ වන විට ලකුණු 252 ක් ලබා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටියි. හැමිල්ටන් සහ බොටාස් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම ලකුණු 212 ක් සමග එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර මැක්ලරන් මර්සිඩීස් කණ්ඩායම ලකුණු 120 ක් සමග තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

මෙම තරගයෙන් අනතුරුව ඔස්ට්‍රියානු ගෝන් ප්‍රී තරගය සහ බ්‍රිතාන්‍ය ගෝන් ප්‍රී තරගය ජූලි මස 4 වැනිදා සහ 18 වැනිදාද, හංගේරියානු ගෝන් ප්‍රී තරගය සහ බෙල්ජියම් ගෝන් ප්‍රී තරගය අගෝස්තු මස 1 වැනිදා සහ 29 වැනිදාද පැවැත්වීමට නියමිතය.

 

තරග ප්‍රතිඵල
1 මැක්ස් වර්ස්ටාපන් (රෙඩ්බුල් රේසිං හොණ්ඩා) - පැය 1:22:18.925
2 ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්) - පැය 1:22:56.668
3 වෙල්ටරි බොටාස් (මර්සිඩීස්) - පැය 1:23:05.832
4 සර්ගියෝ පෙරේස් (රෙඩ්බුල් රේසිං හොණ්ඩා) - පැය 1:23:06.359
5 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන් මර්සිඩීස්) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
6 කාර්ලෝස් සේන්ස් (ෆෙරාරි) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
7 චාල්ස් ලැක්ලර්ක් (ෆෙරාරි) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
8 ලාන්ස් ස්ට්‍රොල් (ඇස්ටන් මාටින් මර්සිඩීස්) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
9 ෆර්නෑන්ඩෝ ඇ‍ල‍න්සෝ (ඇල්ෆයින් රෙනෝල්ට්) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
10 යූකි සුනෝඩා (ඇල්ෆාටෝරි හොණ්ඩා) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්


-036


අදහස් (0)

සිරියානු ගෝන් ප්‍රී තරගයේ ජය වර්ස්ටාපන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.