Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ලූවිස් හැමිල්ටන්ට නයිට් පදවිය
ෆෝමියුලා-I

ලූවිස් හැමිල්ටන්ට නයිට් පදවිය

editorial - 2021 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හත්වරක් ෆෝමියුලා-I ලෝක ශූරතාව දිනාගත් එංගලන්තයේ ලූවිස් හැමිල්ටන් මෝටර් රථ කී‍්‍රඩාව වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් එරට ඉහළම ගෞරව සම්මානයක් වන නයිට් පදවියෙන් පිදුම් ලැබීය. වින්ඞ්සර් මාලිගාවේදී පැවැති උත්සවයකදී චාල්ස් කුමරු විසින් හැමිල්ටන්ට නයිට් පදවිය පිරිනමනු ලැබීය.

මේ වන විට 36 වැනි වියේ පසුවන හැමිල්ටන් ලොව වැඩිම ෆෝමියුලා-I ජයග‍්‍රහණය සංඛ්‍යාවකට (103) හිමිකම් කියන කී‍්‍රඩකයාය. වැඩිම ෆෝමියුලා-I ලෝක ශූරතා සංඛ්‍යාවේ සම වාර්තාවටද (මයිකල් ශූමාකර් සමග) ලූවිස් හැමිල්ටන් හිමිකම් කියයි.

මෙම වසරේදී (2021) පැවැති ගෝන් පී‍්‍ර තරග 22 න් 8 ක් ජයගනිමින්, තවත් තරග 8 ක දෙවැනි ස්ථානයට පත්වූ හැමිල්ටන්ට 8 වැනි ලෝක ශූරතාව අහිමි වූයේ ලකුණු 8 කිනි.

මෙවර තරග වාරයේ අවසන් ගෝන් ප‍්‍රී තරගයට පෙර ලකුණු 369.5 ක් ලබා හැමිල්ටන් සමග සම තත්ත්වයේ පසුවූ නෙදර්ලන්තයේ මැක්ස් වර්ස්ටපන් අබුඩාබිහිදී පැවැති අවසන් ගෝන් ප‍්‍රී තරගය ජයගනිමින් මෙවර ලෝක ශූරතාවට හිමිකම් කීවේය. වර්ස්ටපන්ට වඩා තත්ත්පර 2.256 ක් පසුපසින් තරගය නිමා කළ හැමිල්ටන් අබුඩාබි තරගයේ දෙවැනි ස්ථානයට පත් විය. තරගයේ පුරා පෙරමුණ ගෙන සිටි හැමිල්ටන් පසුකර යෑමට වර්ස්ටපන් සමත් වූයේ අවසන් වටයේදී වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

නයිට් පදවියෙන් පිදුම් ලැබූ සිවුවැනි ෆෝමියුලා-I කී‍්‍රඩකයා හැමිල්ටන් වන අතර තරග බිමෙන් සමුගැනීමට පෙර එම පදවියට පාත‍්‍ර වූ පළමු ෆෝමියුලා-I කී‍්‍රඩකයා බවටද ඔහු පත් විය. ඔහුට පෙර  ඕස්ටේ‍්‍රලියාවේ ජැක් බ‍්‍රාබම්, ස්ටර්ලිං මෝස් සහ ජැකී ස්ටුවට් යන ෆෝමියුලා-I කී‍්‍රඩකයෝද නයිට් පදවියෙන් පිදුම් ලැබූහ.

හැම්ටන් හැරුණු කොට කී‍්‍රඩාවෙන් සමුගැනීමට පෙර නයිට් පදවියෙන් පිදුම් ලැබූ සෙසු කී‍්‍රඩකයන් වූයේ ප‍්‍රංශ පාපැදි සවාරියේ ජයග‍්‍රාහක බ‍්‍රැඞ්ලි හිගින්ස්, ඔලිම්පික් දිගු දුර ධාවන රන් පදක්කම් ලාභී මෝ ෆාරා, විම්බල්ඩන් ශූරයා වන ඇන්ඩි මරේ සහ කි‍්‍රකට් කී‍්‍රඩක ඇලිස්ටෙයාර් කුක් පමණි.

- 036

 


අදහස් (0)

ලූවිස් හැමිල්ටන්ට නයිට් පදවිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.