Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports නරියාකන්ද සුපර් ක්‍රොස් තෙවැනි වරටත් කල්දමයි

නරියාකන්ද සුපර් ක්‍රොස් තෙවැනි වරටත් කල්දමයි

editorial - 2022 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මේ වන විට රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් පිට පිටම තෙවැනි වරටත් නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය කල් දැමීමට එහි සංවිධාන කටයුතු මෙහෙයවන ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලන අධිකාරිය පියවර ගෙන තිබේ. දියතලාව, යුද හමුදා විද්‍යා පීඨය සංවිධානය කරන මෙම තරගාවලිය මේ මස 23 සහ 24 යන දිනවලදී දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය තිබිණ. 

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලන අධිකාරියේ සභාපති අෂ්හර් හමීම් මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු කියා සිටියේ රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් තරගාවලිය කල් දැමීමට පියවර ගත් බවත්, රට යථා තත්ත්වයට පත්වුවහොත් එළබෙන ජූලි මාසයේදී තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවත්ය. 

1993 වසරේ සිට වසර 27 ක් පුරා නොකඩවා පැවැති මෙම තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙකේදීම (2020 සහ 2021) දින නියමයකින් තොරව කල් දැමුණ අතර පසුව අවලංගු කර දැමිණ. ඒ අනුව පවතින අර්බුදකාරී තත්ත්වය සමතයකට පත් නොවුනහොත් මෙම වසරේ නරියාකන්ද තරගාවලියද අවලංගු කර දැමීමට සිදුවනු ඇත. 

අවසන් වරට (2019) පැවැති නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලියද පාස්කු ප්‍රහාරය හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුවිය. එම තරගාවලිය නතර කරන විට ඊට ඇතුළත්ව තිබූ තරග ඉසව් 24 න් නිමාවට පත්වී තිබුණේ ඉසව් 17 ක් පමණි. ඒ වන විට දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරාගැනෙන තරග 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගැනෙන තරග දෙකෙන් එකක් පවත්වා නොතිබීම හේතුවෙන් එවර දක්ෂතම ක්‍රීඩකයන් සඳහා ශූරතා ප්‍රදානයක් සිදු නොකෙරිණ. 

මෙම වසර (2022) තුළදී පැවැත්වීමට නියමිත තරගාවලි 18 න් මේ වන විට පවත්වා ඇත්තේ තරගාවලි 2 ක් පමණි. ඉන් පළමු වැනින්න ලෙස ‘අයිස් බ්‍රේකර්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය පෙබරවාරි මස 5 සහ 6 යන දිනවල සාලියපුරදී පැවැති අතර දෙවැන්න ලෙස එළියකන්ද කඳු තරණය පෙබරවාරි මස 19 සහ 20 යන දිනවල මාතරදී පැවැත්විණ. 

ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි 3 ක් විවිධ හේතූන් මත දින නියමයකින් තොරව කල් දැමීමට සංවිධායකයන්ට සිදුවිය. මාර්තු මස 26 සහ 27 යන දිනවල වැලිසර පැවැත්වීමට නියමිතව තිබූ කලම්බු සුපර් ක්‍රොස් තරගාවලිය ඉන් ප්‍රධාන තැනක් ගත්තේය. අප්‍රේල් මස 2 සහ 3 යන දිනවල නුවරඑළියේදී පැවැත්වීමට නියමිතව තිබූ මහගස්තොට කඳු තරණය සහ අප්‍රේල් මස 5 වැනිදා රඳැල්ලේදී පැවැත්වීමට නියමිතව තිබූ රඳැල්ල කඳු කරණය කල් දැමුණ සෙසු තරගාවලි දෙක විය.


අදහස් (0)

නරියාකන්ද සුපර් ක්‍රොස් තෙවැනි වරටත් කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.