
සවුදි අරාබියේදී පැවැත්වෙන මෙවර ඩකාර් රැළියේ අද (13 වැනිදා) පැවැති 11 වැනි අදියර ජයගැනීමට තෙවරක් ඩකාර් රැළි ශූරතාව දිනා ඇති ස්පාඤ්ඤයේ කාර්ලෝස් සේන්ස් සමත් විය. බිෂා ප්‍රදේශය වටා කිලෝ මීටර් 501 ක දුරකින් සමන්විත වූ එම අදියර ජය ගැනීම සඳහා සේන්ස්ට පැය 3 යි විනාඩි 29 යි, තත්ත්පර 32 ක කාලයක් ගත විය.
මේ වන විට 59 වැනි වියේ පසුවන සේන්ස් සිය ක්‍රීඩා දිවිය තුළදී ලැබූ 41 වැනි ඩකාර් රැළි අදියර ජයග්‍රහණය මෙය විය. මෙම ජයග්‍රහණයත් සමග සමස්ත තරගයේ 9 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද සේන්ස් සමත් විය. සේන්ස්ට වඩා විනාඩි 2 යි, තත්ත්පර 21 ක් පසුපසින් තරගය නිමා කළ ප්‍රංශයේ සෙබස්තියන් ලොබ් 11 වැනි අදියරේ දෙවැනි ස්ථානයට පත්විය.
11 වැනි අදියරේ 7 වැනි ස්ථානයට පත් වුවද, තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට කටාරයේ නේසර් අල් අතියා සමත්ව සිටියි. අදිරය 11 නිමා කිරීම සඳහා ඔහුට ගතවී ඇති මුළු කාලය පැය 36 යි, විනාඩි 49 යි, තත්ත්පර 51 කි. කෙසේ වුවත් 11 වැනි අදියරේ දෙවැනි ස්ථානයට පත්වෙමින් තමා සහ අල් අතියා අතර පැවැති කාල පරතරය අඩුකර ගැනීමට සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන සෙබස්තියන් ලොබ් සමත් විය.
10 වැනි අදියරෙන් අනතුරුව තමා සහ අල් අතියා අතර පැවැති විනාඩි 32 යි, තත්ත්පර 40 ක කාල පරතරය 11 වැනි අදියර නිමා වන විට විනාඩි 28 යි, තත්ත්පර 19 ක් දක්වා අඩුකර ගැනීමට ලොබ්ට හැකි විය. සමස්ත තරගයේ තෙවැනි ස්ථානයේ පසුවන සවුදි අරාබියේ යසීඞ් අල් රාජි සහ අල් අතියා අතර පවතින කාල පරතරය පැය 1 යි, විනාඩි 3 යි, තත්ත්පර 43 කි.
11 වැනි අදියරේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකර ගැනීමට ආර්ජන්ටිනාවේ ලුසියෝ අල්වාරෙස් සහ ස්වීඩනයේ මැටියාස් එක්ස්ට්‍රෝම් සමත් වූහ. ඔවුන් දෙදෙනා පිළිවෙලින් සේන්ස්ට වඩා විනාඩි 3 යි, තත්ත්පර 10 ක් සහ විනාඩි 3 යි, තත්ත්පර 53 ක් පසුපසින් එම අදියර නිමා කළහ. ස්පාඤයේ නානි රෝමා 11 වැනි අදියරේ පස්වැනි ස්ථානයට පත්වූයේ සේන්ස්ට වඩා විනාඩි 5 යි, තත්ත්පර 11 ක් පසුපසින් තරගය නිමා කරමිනි.
11 වැනි අදියරේ ප්‍රතිඵලය
1 කාර්ලෝස් සේන්ස් (ස්පාඤය) - පැය 3 යි, විනාඩි 29 යි, තත්ත්පර 32 යි
2 සෙබෙස්තියන් ලොබ් (ප්‍රංශය) - පැය 3 යි, විනාඩි 31 යි, තත්ත්පර 53 යි
3 ලුසියෝ අල්වාරෙස් (ආර්ජන්ටිනාව) - පැය 3 යි, විනාඩි 32 යි, තත්ත්පර 42 යි
4 මැටියාස් එක්ස්ට්‍රෝම් (ස්වීඩනය) - පැය 3 යි, විනාඩි 33 යි, තත්ත්පර 25 යි
5 නානි රෝමා (ස්පාඤය) - පැය 3 යි, විනාඩි 33 යි, තත්ත්පර 42 යි
සමස්ත තරගයේ ප්‍රතිඵල
1 නේසර් අල් අතියා (කටාරය) - පැය 36 යි, විනාඩි 49 යි, තත්ත්පර 51 යි
2 සෙබෙස්තියන් ලොබ් (ප්‍රංශය) - පැය 37 යි, විනාඩි 18 යි, තත්ත්පර 10 යි
3 යසීඞ් අල් රාජි (සවුදි අරාබිය) - පැය 37 යි, විනාඩි 53 යි, තත්ත්පර 34 යි
4 ඔර්ලන්ඩෝ ටෙරනෝවා (ආර්ජන්ටිනාව) - පැය 38 යි, විනාඩි 21 යි, තත්ත්පර 20 යි
5 ගිනියෙල් ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව) - පැය 38 යි, විනාඩි 34 යි, තත්ත්පර 02 යි
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.