Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports එළියකන්ද තරණය ඉරිදා මාතරදී

එළියකන්ද තරණය ඉරිදා මාතරදී

editorial - 2023 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 27 වැනි වරට සංවිධානය කරන ‘එළියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය එළබෙන සෙනසුරාදා (18 වැනිදා) සහ ඉරිදා (19 වැනිදා) පෙරවරු 8.00 සිට මාතර බ්‍රවුන්ස් කන්ද කේණ්ද්‍ර කරගෙන පැවැත්වේ.

මේ වසරේදී (2023) පැවැත්වෙන පළමු මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය වන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නිපෝන් පේන්ට් සමාගම කටයුතු කරයි. මොබිටෙල්, වර්ත් ලංකා, මාතර ෆ්‍රීලන් සහ හරිෂ්චන්ද්‍ර කර්මාන් ශාලාව තරගාවලියේ සෙසු අනුග්‍රාහකයෝ වෙති.

මීටර් 600 ක දිගකින් යුත් තාර ඇතිරූ මාර්ගයක පැවැත්වෙන මෙම තරගාවලිය මෝටර් රථ ඉසව් 14 කින් සහ යතුරුපැදි ඉසව් 14 කින් සමන්විත වේ. එම ඉසව් සඳහා මෝටර් රථ රියැදුරන් 105 ක් සහ යතුරුපැදිකරුවන් 78 ක් සහභාගි වීමට නියමිතව ඇතැයි සංවිධායකයෝ පවසති.

සෑම ඉසව්වකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා කුසලාන සහ සහතික පත් පිරිනැමෙන අතර එහිදී අඩුම වේලාවකින් තරගය නිමා කරන මෝටර් රථ ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙසත්, අඩුම වේලාවකින් තරගය නිමා කරන යතුරුපැදි ක්‍රීඩකයා දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසත් සම්මාන ලැබීමට නියමිතය.

ඉකුත් වසරේ (2022) පැවැති එළියකන්ද තරණයේදී දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයට සහභාගි වූ උෂාන් පෙරේරා සමත් විය. එහිදී ඔහුට තරග වටයක් නිමා කිරීම සඳහා වැය වූ අවම කාලය තත්පර 32.943 කි.

එම වසරේදී අවම කාලයකින් (තත්පර 33.689 කින්) තරග වටයක් නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගනු ලැබුවේ සංගීත් සූරියගේ විසිනි. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 450 දක්වා) සුපර් මෝටාඩ් විවෘත යතුරුපැදි තරගය ජය ගනිමිනි.

එදා මෙදා තුර එළියකන්ද තරණ ඉතිහාසයේ ක්‍රීඩකයකු වාර්තා කළ අඩුම කාලයට හිමිකම් කියනු ලබන්නේ අශාන් සිල්වා විසිනි. 2021 වසරේ පැවැති තරගාවලියේ එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයට සහභාගි වෙමින් ඔහු එම වාර්තාව පිහිටුවීය.

 


අදහස් (0)

එළියකන්ද තරණය ඉරිදා මාතරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.