Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ෆෝමියුලා-I කාලසටහන අඳුරු ඉසව්වකට

ෆෝමියුලා-I කාලසටහන අඳුරු ඉසව්වකට

editorial - 2021 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆෝමියුලා-I මෝටර් රථ තරග මාලාවට ඇතුළත්ව තිබූ සිංගප්පූරු ගෝන් ප්‍රී තරගය අවලංගු කර දැමීමට එරට රජය පියවර ගැනී‍ම හේතුවෙන් ඒ සඳහා ආදේශක තරගයක් සෙවීමට ‍ෆෝමියුලා-I සංවිධායකයන්ට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් මෙම වසරේ (2021) ‍ෆෝමියුලා තරග කාලසටහන කඩාවැටෙන තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වසංගතයේ දැඩි බලපෑම හමුවේ මෙවර තරග මාලාවට අයත් තරග 23 අතරින් ජපන්, මෙක්සිකානු, බ්‍රසීල සහ ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරග පැවැත්වීම ද අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ. ෆෝමියුලා-1 කාල සටහනට අනුව එම තරග සියල්ල මේ වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතව ඇත.

මේ වන විට තම රටේ සංචරණයට සහ සංක්‍රමණයට පණවා ඇති සීමා හේතුවෙන් ඔක්තෝබර් මස 3 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ගෝන් ප්‍රී තරගයට සත්කාරකත්වය සැපයීමට නොහැකි බව සිංගප්පූරු රජය ඉකුත්ද‍ා ෆෝමියුලා-I සංවිධායකයන්ට දැනුම් දී තිබේ.

දැඩි සංචරණ සීමා යොදමින් සහ දිගින් දිගටම කරන ලද පුළුල් පරීක්ෂණ මගින් ආසාදන අඩු මට්ටමක තබාගත් රටක් මෙන්ම කොරෝනා වසංගතය පාලනය කළ රටක් ලෙසද සිංගප්පූරුව හැඳින්විය හැකිය. එබැවින් එරට පාලකයන්ගේ මතය වී ඇත්තේ ගෝන් ප්‍රී තරග සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් රට තුළට පැමිණීම ඔවුන්ගේ රෝග පාලන ක්‍රියාමාර්ග සමග නොගැලපෙන බවය.

මෙම වසර තුළදී පැවැත්වීමට නියමිත තවත් ගෝන් ප්‍රී තරග කිහිපයක්ම කොරෝනා වසංගතය හේතුවෙන් අවලංගු වීමේ අවදානමක් පවතී. එබැවින් තුර්කි හෝ චීන ගෝන් ප්‍රී තරග මෙන්ම සහ ඇමරිකාවේදී පැවැත්වෙන දෙවැනි ගෝන් ප්‍රී තරගයක් සිංගප්පූරු ගෝන් ප්‍රී තරගයේ ආදේශකයන් ලෙස සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.

මින් පෙර සංචරණ සීමා පැනවීම හේතුවෙන් අවලංගු කරන ලද කැනේඩියානු ගෝන් ප්‍රී තරගය වෙනු‍වට තුර්කි ගෝන් ප්‍රී තරගය ආදේශ කෙරිණ. එහෙත් තරග කාල සටහනට ඇතුළත්කර සති දෙකක් ගතවීමටත් පෙර එක්සත් රාජධානිය විසින් නම් කරන ලද සංචරණය සඳහා ඉහළ අවධානමක් සහිත රටවල් අතර රතු ලැයිස්තුවට තුර්කිය ඇතුළත්වීමත් සමගම තුර්කි ගෝන් ප්‍රී තරගයද අවලංගු කිරීමට සිදුවිය.

මෙම වසර මුලදී පැවැත්වීමට නියමිතව තිබී දින නියමයක් නොමැතිව කල් දමන ලද චීන ගෝන් ප්‍රී තරගයට පුනර්ජීවයක් ලබාදීම හෝ සිය ප්‍රධාන ගෝන් ප්‍රී තරගයට අමතරව දෙවැනි ගෝන් ප්‍රී තරගයක් පැවැත්වීම සඳහා ඇමරිකාවට අවස්ථාව ලබාදීම කෙරෙහිද ෆෝමියුලා-I සංවිධායකයන්ගේ අවධානය යොමුවී තිබේ.

-036


අදහස් (0)

ෆෝමියුලා-I කාලසටහන අඳුරු ඉසව්වකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.