Last Update  :  2026-01-09 21:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැව්ලොක්ස් පිලට 39 - 05 ක පහසු ජයක්

හැව්ලොක්ස් පිලට 39 - 05 ක පහසු ජයක්

editorial - 2026 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ රග්බි ලීගයේ 9 වැනි සතිය ආරම්භ කරමින් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර ඊයේ (9 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 39-05 ක පහසු ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩක⁣යෝ සමත් වූහ. මෙවර තරගාවලි⁣යේදී සී.එච්. කණ්ඩායම ලැබූ පළමු පරාජය මෙය වූ අතර මෙම පරාජයත් සමග තරගාවලිය තුළ ඔවුන් මෙතෙක් රැකගෙන සිටි අපරාජිත බවද බිඳවැටිණ.

හැව්ලොක්ස් කණ්ඩායමේ නිවස්න ක්‍රීඩාංගණය වූ කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 13-05 ක් ලෙස හැව්ලොක්ස් ක්‍රීඩකයෝ පෙරමුණේ පසුවූහ. එහිදී ඔවුන් උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර සී.එච්. ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් මගිනි.

දෙවැනි අර්ධයේදී සී.එච්. ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදුන් හැව්ලොක්ස් ක්‍රීඩකයෝ, ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් මගින් තවත් ලකුණු 26 ක් සිය ලකුණු මල්ලට එක්කර ගත්හ. හැව්ලොක්ස් කණ්ඩායමේ ජනිඳු ප්‍රනාන්දු 19 වැනි විනාඩියේදීත්, සී.එච්. කණ්ඩායමේ ළහිරු තිලකරත්න සහ අබ්සාල් මොහොමඩ් පිළිවෙලින් 22 වැනි සහ 48 වැනි විනාඩිවලදීත් කහ කාඩ්පත් ලබා පිටියෙන් ඉවත්ව ගියහ.

තරගයේ 5 වැනි විනාඩියේදී උත්සහාක දිනුමක් ලබාගත් ජයතු රාජරත්න හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. ඉන් විනාඩි 10 කට පසුව හැව්ලොක්ස් කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ දැමුවේය.

සී.එච්. කණ්ඩායම තරගයට අවතීර්ණ වූයේ 20 වැනි විනාඩියේදී ජනිත් චන්දිමාල් ලබාගත් උත්සාහක දිනුමත් සමගිනි. එහෙත් 28 වැනි විනාඩියේදී හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගත් යෙහාන් බුලත්සිංහලගේ ලකුණු පරතරය වැඩි කරගනිමින් සිය කණ්ඩායමට පළමු අර්ධය නිමාවට පත්කිරීම සඳහා අවස්ථාව උදාකර දුන්නේය.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 12 ක් ගතවන විට හැව්ලොක්ස් ක්‍රීඩකයන් එක්ව උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ සැමුවෙල් මධුවන්ත විසිනි. ඉන් අනතරුව 52 වැනි, 71 වැනි සහ 74 වැනි විනාඩිවලදී හැව්ලොක්ස් කණ්ඩායම වෙනු⁣වෙන් තවත් උත්සාහක දිනුම් 3 ක් වාර්තා කිරීමට ජයතු රාජරත්න, ජනිඳු විජේරත්න සහ මොහොමඩ් රිෆාන් සමත් වූහ. සැමුවෙල් මධුවන්ත සහ යෙහාන් බුලත්සිංහලගේ ඉන් දෙකක ප්‍රවර්ථනයන් සාර්ථක කරගත්හ.


අදහස් (0)

හැව්ලොක්ස් පිලට 39 - 05 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.