Last Update  :  2026-01-09 21:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුගතදාස පිටිය තාවකාලිකව වසයි

සුගතදාස පිටිය තාවකාලිකව වසයි

editorial - 2026 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

නාමල් පතිරගේ

කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණය අලුත්වැඩියා කටයුත්තක් සදහා ඊයේ ( 7) සිට වසා දමා තිබේ.සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති රංජිත් විමලරත්න මහතා ඊයේ ලංකාදීප ය කළ විමසුමකදී පැවැසුවේ පාපන්දු පිටියේ තණකොළ ඇතිරීමක් සදහා ජනවාරි 31 වැනිදා දක්වා එළිමහන් පිටිය වසා දමන බවයි.

මේ අතර එළිමහන් ක්‍රීඩාංගණය තාවකාලිකව වසා දැමීමට ගත් තීරණයෙන් එකී කාලය තුළ නිවාසාන්තර ක්‍රීඩා උත්සව සදහා ක්‍රීඩාංගණය වෙන් කරවා ගත් බව කියන පාසල් දුෂ්කරතාවට පත්ව ඇතැයි පළවී තිබෙන වාර්තා විමලරත්න මහතා ප්‍රතික්ෂේප කර සිටියේය.

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවැසීය.

"එහෙම නිවාසාන්තර ක්‍රීඩා උත්සව සදහා ඔය කියන කාල සීමාවේ නිල වශයෙන් ක්‍රීඩාංගණය වෙන් කරවා ගැනීම් සිදු වෙලා නෑ.මේ කියන කාලය තුළ නිවාසාන්තර ක්‍රීඩා උත්සව වලට සුගතදාස පිටිය වෙන් කර ගැනීමට සූදානම් වෙලා හිටපු පාසල් තිබෙනවා නම් ඔවුන්ට ඒ වෙනුවට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය උනත් වෙන් කරවා ගන්න පුළුවන්"

එළිමහන් ක්‍රීඩාංගණය ඉදිරි සති තුනකට ආසන්න කාලයක් වසා තැබුවත් එහි ධාවන පඨයේ දෛනිකව පුහුණුවීම් කරන ජාතික මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බාධාවකින් තොරව එකී කාලය තුළදීත් පුහුණුවීම් කටයුතු පවත්වා ගෙන යාමට පහසුකම් සලසා ඇතැයි ඔහු පවසයි.

මේ අතර රුපියල් මිලියන 860 කට ආසන්න සංවර්ධන ව්‍යාපෘතියක් වන සුගතදාස පිටියේ නව කෘතිම ධාවන පඨයේ ඉදිකිරීම් හා එහි විදුලි ආලෝක ධාරා පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ඇතුළුව සෙසු නවීකරණ කටයුතු ආරම්භ කිරීම සදහා ලබන මාර්තු මාසය අවසන් වීමත් සමග එය නැවැත තාවකාලිකව වසා දැමීමට සිදු වන බව සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය අවධාරණය කරයි.

වසර 2021 සිට සුගතදාස පිටියේ වත්මන් කෘතිම ධාවන පඨය අබලන්වී තිබෙන අතර එය මේ වන විට වඩාත් උත්සන්නවී තිබෙන බැවින් එහි මලල ක්‍රීඩා තරග පැවැත්වීමත් ඇණ හිට තිබේ. නව කෘතිම ධාවන පඨය ඇතිරීමේදී අවම මාස තුනකට ආසන්න කාලයක් ක්‍රීඩංගණය වසා තැබීමට සිදු වනු ඇත.


අදහස් (0)

සුගතදාස පිටිය තාවකාලිකව වසයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.