Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සහාය දිවීමේ ලෝකයේ තැනගන්න තියුණු සටනක්

සහාය දිවීමේ ලෝකයේ තැනගන්න තියුණු සටනක්

editorial - 2023 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බුඩාපේස්ට් ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර 4x400 (පිරිමි) ඉසව්වට නිර්දේශ ලබා ගැනීම සඳහා කොළඹදී සිකුරාදා (28) ආරම්භ වන 101 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තියුණු සටනක් ඇති වී තිබේ.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 756 දෙනකුගේ සහභාගිත්වයෙන් 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ලබන සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා (28, 29, 30) දිනවලදී පැවැත්වේ. ඒ සඳහා ඉන්දියාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සමගින් මාලදිවයින ද කණ්ඩායමක් සහභාගි කරන බව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. සිකුරාදා ආරම්භ වන ජාතික ශූරතාවලියේ සුවිශේෂී වැදගත්කම වන්නේ, එය එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙල හා ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හිමිව තිබෙන අවසන් අවස්ථාව බවට එය පත්ව තිබීමයි.

හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී ලබන අගෝස්තු 19 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන රටවලට සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කරගැනීමට ලැබෙන අවසන් දිනය මෙම ජුලි 30 වැනිදා ලෙස ප්‍රකාශයට පත්ව තිබේ.

මෙම තත්ත්වය තුළ පසුගියදා තායිලන්තයේ පත්තායා නුවරදී නිමාවට පත්වූ 24 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වෙමින් විනාඩි 3 තත්පර 01.80කට රිදී පදක්කම ලද ඉන්දියාව බුඩාපේස්ට් ලෝක තරගාවලියට ඇස ගසා ගෙන තිබේ. ඒ සඳහා නිර්දේශ ලබා ගැනීමේ අවසන් උත්සාහයට අවතීර්ණ වෙමින් ඔවුන්ගේ මීටර 400x4 (පිරිමි) කණ්ඩායම ද ශ්‍රී ලංකාවේ ජාතික තරගාවලියට යොමු කිරීමට කටයුතු යොදා තිබේ.

මීටර 400x4 (පිරිමි) ඉසව්වේ නව වාර්තාවක් පිහිටුවමින් විනාඩි 3 තත්පර 01.56කට ආසියානු ශූරතා රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම කොළඹ ජාතික තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට මුණගැසීම එහිදී ඉසව්වේ ඔවුන්ට සිය දක්‍ෂතා උච්චතම අවස්ථාවට ළඟා කරගත හැකි අවස්ථාවක් බවට ද පත්ව තිබේ. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසුවේ, ආසියානු තරග ප්‍රතිඵලයට අනුව මේ වන විට මීටර 400x4 (පිරිමි) ඉසව්වේ ශ්‍රේණිගත හොඳම සහාය දිවීමේ කණ්ඩායම් අතරින් 12 වැනි ස්ථානයට පත්ව සිටීම ලෝක තරගාවලිය කෙරෙහි එම ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වඩාත් ඉහළ නංවා තිබෙන බවයි.

එම ශ්‍රේණිගත කිරීමට අනුව ඉන්දීය මීටර 400x4 (පිරිමි) කණ්ඩායම මේ වන විට 14 වැනි ස්ථානයේ පසු වේ. ජුලි 30 වැනිදා වන විට ශ්‍රේණිගත කිරීම්හි හොඳම මීටර 400x4 සහාය දිවීමේ (පිරිමි) කණ්ඩායම් 16 බුඩාපේස්ට් ලෝක ශූරතා තරගාවලියට නිර්දේශ කරගැනේ.

එම ඉසව්වේ මෙවර ආසියානු ශූරතා රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකාව හා රිදී පදක්කම්ලාභී ඉන්දියාව ඉතා ආසන්නයේ නැවත තරග වදින මීටර 400x4 (පිරිමි) ඉසව්ව මෙවර ජාතික තරගාවලිය නිමාවට පත් කරමින් ඉරිදා (30) පස්වරු 5.00ට පැවැත්වේ.  එය මෙම සහාය දිවීමේ කණ්ඩායම් දෙකටම හෝ අවම එක් කණ්ඩායමකට බුඩාපේස්ට් ලෝක තරගාවලියට වරම් ලැබෙන අවසන් උරගා බැලීම බවට ද පත්ව තිබෙන්නේ නිර්දේශ ලබා ගැනීමේ අවසන් දිනය ද එදිනට යෙදී තිබෙන බැවිනි.

ශ්‍රී ලංකාවේ ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වන 28 දෙනකුගෙන් යුත් ඉන්දීය මලල ක්‍රීඩා කණ්ඩායමේ බහුතරයක් නිමාවට පත්වූ පත්තායා ආසියානු තරගාවලියේදී පදක්කම් දිනා ගත්තෝ වෙති.

එහිදී ඉන්දියාව රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කම් 9 ක් දිනා තරගාවලියේ තෙවැනි ස්ථානය ලබන අතර, වැඩිම පදක්කම් හිමි කරගත් රටවල් අතර දෙවැනි තැන ලැබීමට ද සමත් විය.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා මෙන්ම බුඩාපේස්ට් ලෝක මලල ක්‍රීඩා තරගාවලියටත් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් පැහැදිලිවම නිර්දේශ ලබා සිටින්නේ කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් පමණි.

කෙසේ වුවත්, ආසියානු ක්‍රීඩා උළෙලට නිර්දේශ තහවුරු කරගත හැකි වනු ඇතැයි විශ්වාසයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජායා කණ්ඩායමක් මේ වන විට ආසියානු තරග සංවිධායකයන් වෙත ශ්‍රී ලංකාව යොමු කර තිබේ.

සිකුරාදා (28) පෙරවරු 7.30ට පැවැත්වෙන මීටර 10,000 (කාන්තා) ඉසව්වෙන් මෙවර ජාතික මලල ක්‍රීඩා තරගාවලිය ආරම්භ වේ.


අදහස් (0)

සහාය දිවීමේ ලෝකයේ තැනගන්න තියුණු සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.