Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සම්මේලනය තහනම් කළ පාපැදි සවාරියේ ශූරයා ලක්ෂ්මන් - ශූරිය සුමේධා කුමාරි

සම්මේලනය තහනම් කළ පාපැදි සවාරියේ ශූරයා ලක්ෂ්මන් - ශූරිය සුමේධා කුමාරි

editorial - 2023 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ තහනම මැද පැවැත්වීමට සිදුවූ අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි තරගමාලාවේ සුපිරි - රේසින් (පිරිමි) තරගයේ ජය අනුරාධපුරයේ ටූවීල් ක්‍රීඩා සමාජයේ ලක්‍ෂ්මන් සංජීව විසින්ද, එහි කාන්තා තරගයේ ජය රංගිරි ක්‍රීඩා සමාජයේ සුමේධා කුමාරි විසින්ද දිනාගන්නා ලදී.

ඉසව් 11 කින් සමන්විතව අනුරාධපුර නගරය හා ඒ ආසන්න ධාවන මාර්ගයක වට පාපැදි තරගමාලාවක් ලෙස එය සමස්ත ලංකා විවෘත තරගාවලියක් ලෙස සංවිධානය කිරීමේදී සුපිරි - පිරිමි තරගයේ දුර කිලෝමීටර් 75ක අගයක් ගත්තේය.

මේ අතර මෙම පාපැදි තරග මාලාව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අනුමත කළ එකක් නොවන බැවින් ඊට සහභාගීවීමෙන් වළකින ලෙස එහි ලේකම්වරයා ක්‍රීඩා සමාජ වෙත ලිපියක් යොමුකර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතාට කළ පැමිණිල්ලක ප්‍රතිඵලයක් ලෙස ඔහු පාපැදි සම්මේලනයට ලිපියක් මගින් අවධාරණය කර තිබුණේ පාපැදි ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා සංවිධානය කරන අනුරාධපුර තරගාවලියට පාපැදි සම්මේලනයේ සහයෝගය ලබාදෙන ලෙසයි.

කෙසේ වුවත් එම ලිපිය නිකුත්වීමෙන් පසුවද පාපැදි සම්මේලනය සිය ස්ථාවරය වෙනස් නොකරමින් ක්‍රීඩා සමාජවලට දැනුම්දී ඇත්තේ ඊට සහභාගීවීමෙන් වළකින ලෙසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති ධුරය ද දරන උපුල් චන්දන ප්‍රියනාත් මහතා මෙසේද පැවසීය.

‘‘රටේ වාර්ෂිකව දිස්ත්‍රික් සංගමයක් අඛණ්ඩව පවත්වාගෙන එන එකම පාපැදි තරගාවලිය මෙයයි. ඒක රටේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත කරමින් අපි සංවිධානය කළේ පාපැදි ක්‍රීඩාවේත් ඔවුන්ගේත් අභිවෘද්ධිය වෙනුවෙනුයි.

නමුත් තරගාවලිය කඩාකප්පල් කරන්න පාපැදි සම්මේලනයේ ලේකම්වරයා මුල ඉඳලාම කටයුතු කළා. ඇත්තටම සම්මේලනය ක්‍රීඩාව ගැන හිතනවා නම් කළ යුත්තේ මේ වගේ තරග සංවිධානය කරන්න අනුසංගම්වලට උදව් කරන එකයි. නමුත් සිදුවුණේ වෙනත් දෙයක්.

අපි ඉතා දුක් මහන්සියෙන් අනුග්‍රාහකයන් හොයාගෙන සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සියලු පහසුකම් සූදානම් කරලා තරගමාලාව සංවිධානය කළා. නමුත් පාපැදි සම්මේලනයේ ලේකම්වරයාගේ බලපෑම් ලිපිය නිසා ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියෙන් ඉවත් වුණා. ඒ විතරක් නෙමේ ඒවායෙහි අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා තරගාවලියට සහභාගීවීමෙන් වැළකී සිටියා.

පාපැදි සම්මේලනය කළ යුතු වන්නේ මේ වගේ තරග පවත්වන එකට පහසුකම් සැළසීම නොවේද? නමුත් සම්මේලනයට කිසිම බරක් නොවෙමින් හැම අවුරුද්දම, අපි මේ තරගමාලාව සංවිධානය කළා. ඒ විතරක් නොවේ පාපැදි සම්මේලනයේ ලේකම්වරයා මේ තරගාවලියට සම්මේලනයේ අනුමැතිය ලබාගත යුතු කතාවක් තියෙනවා. නමුත් ගිය අවුරුද්දේ අපි පවත්වපු මේ තරගාවලියට එහෙම සම්මේලනයෙන් කියලා විශේෂ අනුමැතියක් අරගෙන තිබ්බෙ නෑ. එදා සම්මේලනයේ මෙහෙම කතාවක් අපිට කියලාත් නෑ.

කෙසේ වුවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් තරගාවලිය පවත්වා අවසන් කිරීමට තරග සංවිධායකයන් කටයුතු කර තිබේ.

අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ හා ජාත්‍යන්තර පාපැදි විනිසුරු එන්. කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තරග මාලාව පැවැත්විණි.

උපුල් චන්දන ප්‍රියනාත්, බී.ජේ. සුමනසේකර, සුමිත් බාලසූරිය, කුමාර මොලගොඩ, සරත් චන්ද්‍රරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ප්‍රවීණතම පාපැදි විනිසුරු මඬුල්ලක් තරගමාලාවේ විනිශ්චය හා තීරක කටයුතු මෙහෙයවීය.


අදහස් (0)

සම්මේලනය තහනම් කළ පාපැදි සවාරියේ ශූරයා ලක්ෂ්මන් - ශූරිය සුමේධා කුමාරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.