තායිවානයේදී පැවැත්වෙන ආසියානු බේස්බෝල් ශූරතාවලියේ අද (7 වැනිදා) පැවැති තරගයකදී හොං කොං කණ්ඩායම පරදවා ලකුණු 2-0 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී ලබාගත් පළමු ජයග්‍රහණය මෙන්ම සහභාගි වූ අවසන් තරගයද වේ.
එම තරගයේදී ඉනිම් 8 ක් ක්‍රීඩා කළ අතර 6 වැනි ඉනිම නිමා වන තෙක් කණ්ඩායම් දෙකම ලකුණු ලබාගැනිමට අපොහොසත්ව සිටියේය. එහෙත් 7 වැනි සහ 8 වැනි ඉනිම්වලදී ලකුණු බැගින් රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2-0 ක් ලෙස තරගයේ ජය තමන් වෙත නතු කරගත්හ.
ඉනිම් 9 කින් සමන්විත වූ ඊයේ (6 වැනිදා) පැවැති තවත් තරගයකදී පාකිස්තානය හමුවේ ලකුණු 10-2 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත පරාජයක් ලැබීය. බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ රන් පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සුදුසුකම් ලබාගත් අතර පාකිස්තානය මෙම තරගාවලියට සුදුසුකම් ලබාගත්තේ බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ රිදී පදක්කම දිනාගනිමිනි.
‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම මින් පෙර පැවැති තරගවලදී කොරියාව හමුවේ ලකුණු 18-0 ක් ලෙසද, පිලිපීනය හමුවේ ලකුණු 8-5 ක් ලෙසද, චීන තායිපේ හමුවේ ලකුණු 13-0 ක් ලෙසද පරාජයට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.