Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව තහනම් කළොත් ක්‍රීඩා ඇමැති වගකිව යුතුයි

ශ්‍රී ලංකාව තහනම් කළොත් ක්‍රීඩා ඇමැති වගකිව යුතුයි

editorial - 2022 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය අත්හිටුවා අතුරු කමිටුවක් පත් කිරීමට ගත් තීරණයෙන් ක්‍රීඩා ඇමැතිවරයා රටේ සමස්ත පාපන්දු ක්‍රීඩාවම අනතුරේ හෙළා ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරය දැරූ ජස්වර් උමාර් මහතා පැවසීය.

කොළඹ දී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ ඇමැතිවරයාගේ තීරණය තුළින් තව නොබෝ දිනකින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ තහනමකට ලක්වන බවයි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ලේකම් ධුරය දැරූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ, හිටපු ජාතික පාපන්දු පුහුණුකරු නිෂාන් ෆකීර් අලී යන මහත්වරුන් ඇතුළු විධායක සභිකයන් හා දිවයිනේ පාපන්දු ලීග රැසක නියෝජිතයෝ  ඊට සහභාගී වූහ.

ජස්වර් උමාර් මහතා මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න රැසකට පිළිතුරු දෙමින් මෙසේද පැවසීය.

“ක්‍රීඩා ඇමැතිවරයා අතුරු කමිටුවක් පත් කිරීමට ගන්නා කවර උත්සාහයක් වුවද අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මූලධර්මවලට පැටහැණියි. සිය සාමාජික කිසිදු රටක නිල පාපන්දු පරිපාලන ඒකකයට තෙවැනි පාර්ශ්වයක මැදිහත්වීම අන්තර්ජාතික පාපන්දු සම්මේලනය අනුමත කරන්නේ නෑ. ඒ නිසා පාපන්දු අතුරු කමිටුවක් ක්‍රීඩා අමාත්‍යාංශය පිහිටුවන්න කටයුතු කළහොත් ලබන සිකුරාදා වෙනකොට අන්තර්ජාතික සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක් පැනවෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා.

එහෙම වුණොත් පාපන්දු ආයතනයේ සේවක සේවිකාවන් 84 දෙනකුට වැටුප් ගෙවීමත් රටේ අනෙකුත් සියලු පාපන්දු ක්‍රීඩා කටයුතුවල වියදම් දැරීමත් ක්‍රීඩා අමාත්‍යාංශයට බාරගන්න වෙනවා. පාපන්දු ආයතනයේ වත්මන් විධායක සභාව විසුරුවා හැරියාද කියන්න අපි තවමත් දන්නේ නෑ.

මොකද අපි ඇවිත් ඉන්නේ ලබන (2023) මැයි 31 වැනිදා දක්වා ගෙවෙන නිල කාලයක් සම්පූර්ණ කරන්නයි. මේ විදියට කිසියම් පිරිසක් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා නොමග යවමින් කටයුතු කිරීම ගැන පාපන්දු ආයතනය දැඩි කනගාටුවට පත්වෙනවා.

පසුගිය දිනවල ක්‍රීඩා ඇමැතිවරයා මුණගැසීමට පැමිණි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිලධාරීන්ට ශ්‍රී ලංකාවේ පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රතිඥා මුළුමනින්ම බැහැර කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කිරීම ගැන මේ වනවිට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය කනස්සල්ලට පත්ව තිබෙනවා.”

මාධ්‍යවේදියකුගේ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දුන් ජස්වර් උමාර් මහතා මෙසේද පැවසීය.

“අනුර ද සිල්වා හා රංජිත් රුද්‍රිගු යන මහත්වරු අද මේ ප්‍රශ්නය පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් පිටතට අරන් ගිහිල්ලා මේ රටේ පාපන්දු ක්‍රීඩාවට විශාල කළු පැල්ලමක් එක් කරලා තිබෙනවා. අනුර ද සිල්වා මහතාගේ පාලන කාලයේ සිදුව තිබෙන මූල්‍යමය අකටයුතුකම් රාශියක තොරතුරු මා ළඟ තිබෙනවා. එදා පාපන්දු ආයතනයේ මූල්‍ය කමිටුවේ සභාපති ධුරය දැරුවේ රංජිත් රුද්‍රිගු මහතායි.

පාපන්දු ආයතනයේ රුපියල් කෝටි පහකට වැඩි මූල්‍ය වංචාවක තොරතුරු හෙළිවන්නේ ඔය වකවානුව තුළයි. අද අපට මූල්‍යමය වංචා චෝදනා කරන එක්තරා නිලධාරියකුගේ පෞද්ගලික ගිණුමකට ඒ වංචා කළ මුදල්වලින් කොටස් විටින් විට බැර කරලා තිබෙනවා. මේක මම මාධ්‍යයට කියන්නේ පළවෙනි වතාවට. මේ ගැන නිසි විමර්ශනයක් කරන්න අනුර ද සිල්වා මහතා උනන්දු නොවුණේ ඇයි කියලා මා අහනවා.

දැන් අපට පාපන්දු මූලස්ථානයට ඇතුල් වෙන්න දෙන්න එපා කියලා අනුර ද සිල්වා කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කරලා තිබෙනවා. රංජිත් රුද්‍රිගු මහතා එදා ඉඳලා නිලවරණයක් ළංවෙන කොට කළේ සභාපති ධුරයට ඉදිරිපත් වන ප්‍රතිවිරුද්ධ අපේක්‍ෂකයාට පෙත්සම් ගහන එකයි මඩ ගහන එකයි. ඒක එයාගේ පුරුද්දක් කරගෙන තිබෙනවා.”

මේ අතර පාපන්දු ආයතනයේ පසුගිය වසරක කාලය තුළදී වියදම් ඉහළ යාම ගැන කළ විමසුමකදී ජස්වර් උමාර් මහතා පැවසුවේ මෙය ඉස්මතු කර පෙන්වීමට උත්සාහ ගන්නා අය සැබෑ තත්ත්වය වසන් කරන බවයි.

අනුර ද සිල්වා මහතාගේ පාලන කාලයේදී ඇමරිකානු ඩොලරයක රුපියල් වටිනාකම 185කට නොවැඩි වුවත් අද එහි මිල රුපියල් 360ක් දක්වා ඉහළ යාමෙන් මෙම වියදම්, වැඩි වීමක් ලෙස පෙනෙන බව සැබෑ සත්‍යය වන බවත් එහිදී ඔහු පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී හෙළි කළ තොරතුරුවලට අනුව දේශීය තරග 806ක් ශ්‍රී ලංකාව තුළ පවත්වා තිබේ. අන්තර්ජාතික තරග 31ක් සඳහා එකී දින 180ක කාලය තුළදී ශ්‍රී ලංකාව සහභාගි වී තිබේ. රට තුළ කොවිඩ් වසංගතයේ බලපෑම් තුළ මෙම වර්ධනය පෙන්වන අතර ඒ හමුවේ රටේ ජනතාවට ක්‍රීඩා තරග නැරඹීමට තහනම්ව තිබියදී පළමු වතාවට කොවිඩ් වසංගතයෙන් පසුව තරග නැරඹීමේ අවස්ථාව උදාකර දුන්නේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනය බව ද මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.


අදහස් (1)

ශ්‍රී ලංකාව තහනම් කළොත් ක්‍රීඩා ඇමැති වගකිව යුතුයි
  • Rexi Thursday, 29 September 2022 01:55 PM

    දැන් ඉස්සර ඉහළින් හිටපු අපි දැන් ලෝකයේ රෑන්කින්ස් වලින් අන්තිමට වගේ, ඒවට වගකියන්න ඕන පාපන්දු සම්මේලනය දැන් ඉන්න සහ හිටපු නිලධාරි මඬුල්ලට...? ක්‍රීඩා ඇමතිවරයාද? ක්‍රීඩකයෝද? නැතිනම් සාමාන්‍ය ජනතාවද? ඔබ ළඟ හිටපු අයගේ අයගේ මොලය වංචා, විස්තර තියෙනවා නම් නීත්‍යානුකූල පියවර ගන්නකෝ.. බොරුවට මාධ්‍යයට කියන්නේ නැතිව... අපිට කියලා වැඩක් නැහැනේ... අපි නෙමේනේ හොරු අල්ලන්න ඉන්නේ...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.