Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව - සීෂෙල්ස් අවසන් මහ තරගය හෙට

ශ්‍රී ලංකාව - සීෂෙල්ස් අවසන් මහ තරගය හෙට

editorial - 2021 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)


අඟහරුවාදා (16) පැවැති තරගයේදී ශ්‍රී ලංකාව වඩාත්ම වාසනාවන්ත වූයේ ප්‍රතිවාදී බංගලාදේශ කණ්ඩායමට ප්‍රදානය වුණු දඬුවම් පහරක් අපතේ යැවීම පමණක් නොවේ, 32 වැනි විනාඩියේදී පටන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේ ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් පමණක් තරගයේ ක්‍රීඩා කිරීමටය. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු විනිසුරු වෙතින් රතු කාඩ් පත් ලබා තරගයෙන් ඉවත්වීමට සිදුවූ බැවිනි. 

එපමණක්ද නොව එදින බංග්ලාදේශය මෙම  තරගයට පිවිසෙන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේම සිටි ප්‍රබලතම කණ්ඩායමද විය. 

ඒ සියලු බාධා ජයගෙන ශ්‍රී ලංකාව හෙට (19) රාත්‍රි 7.15 රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වන මහින්ද රාජපක්ෂ කුසලාන සිව් කොන් අන්තර්ජාතික පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටී.  අනෙක් පසින් මෙහි ඔවුන්ගේ ප්‍රතිවාදියා බවට පත්ව සිටින්නේ  ෂීෂෙල්ස් රාජ්‍යයයි.

ඒ අනුව හෙට රාත්‍රියේදී ‘සීෂෙල්ස්’ පරාජය කරමින් ශ්‍රී ලංකාව මහින්ද රාජපක්ෂ කුසලාන සමගින් ඩොලර් 30,000ක සල්ලි මල්ලක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබා ගැනීමට වාසනාවන්තවේදැයි සැක හැර දැන  ගත හැකිය. එසේ වන්නේ නම් එය වසර 1995 න් පසුව ශ්‍රී ලංකාව පාපන්දු කුසලානයක් දිනා ගන්නා පළමු අවස්ථාවයි. 

වසර 2006 න් පසුව ශ්‍රී ලංකාව අන්තර් ජාතික පාපන්දු  තරගාවලියක අවසන් මහ තරගයට වරම් ලැබීමට අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය ආසන්න වනවිට සමත්වී තිබුණි. 

1995 දී කොළඹ පැවති සාෆ් ශූරතා (එවකට සාක් රන් කුසලාන) පාපන්දු තරගාවලියේදී ඉන්දියාව පරදා ජය ගැනීමෙන් පසුව මෙතෙක් අන්තර් ජාතික පාපන්දු කුසලානයක් හිමිකර ගැනීමට සමත්ව නැත.  වසර 2006 කොළඹ සාග්  ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පාපන්දු (පිරිමි) අවසන් මහ තරගයට නිර්දේශ වුවත් එහිදී පාකිස්තානයට ගෝල 1-0කින් පරාජයවීමෙන් අනුශූරයන්ට හිමි රිදී පදක්කම ලැබීය.

කොළඹදී හෙට පැවැත්වෙන මෙම අවසන් මහ තරගයේ විශේෂත්වය වන්නේ එකිනෙකට වෙනස් කලාප දෙකක කණ්ඩායම් දෙකක් තරග වැදීමය. 

ෂීසෙල්ස් යනු ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමෙහි 199 වැනි ස්ථානයේ පසුවන අප්‍රිකානු පාපන්දු සමුළුවේ සාමාජික රටකි. ආසියානු පාපන්දු සමුළුවේ සාමාජිකත්වය ගන්නා ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි දැන් 204වැනි ස්ථානයේ පසුවේ. ෂීසෙල්ස් අප්‍රිකානු සමුළුවේ ශ්‍රේණිගත කිරීම් අනුව 53 වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව ආසියානු ශ්‍රේණිගත  කිරීම්හි 45 වැනි තැනේ මේ වනවිට ශ්‍රී ලකාව රැඳී සිටියි.

කෙසේ වුවත් ෂීසෙල්ස් වඩාත් අභිමානයෙන් යුතුව හෙට තරගයට සහභාගි වන්නේ සෙනසුරාදා (13) පැවති තරගාවලියේ මූලික වටයේදී මෙම ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකාව ගෝල 1-0කින් පරාජය කිරීමට සමත්වීමෙනි. ඒ අනුව තරගාවලියේදී දෙපාර්ශ්වය මුණගැසෙන්නේ දෙවැනි වතාවටය.  

මාලදිවයිනට එරෙහිව තරගය ගෝල 4-4ක් ලෙස  සම කිරීමෙන්ද හා මූලික වටයේ තීරණාත්මක තරගයේදී බංග්ලාදේශය ගෝල 2-1කට පරාජය කිරීමෙන්ද ශ්‍රී ලංකාව හෙට අවසන් තරගයට ප්‍රවේශ විය.

ෂීසෙල්ස්, බංග්ලාදේශය හා මාලදිවයිනට එරෙහිව පැවති තරග දෙකම සම කිරීම නිසා හෙට අවසන් මහ තරගයට ප්‍රවේශ වෙන්නේ අපරාජිත කණ්ඩායමක් ලෙසටය. ඒ අනුව මෙම ලීග් තරගාවලියේදී පිළිවෙලින් ප්‍රසාද ලකුණු 5ක් හා හතරක් ලැබූ ෂීසෙල්ස් හා ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූහ. කෙසේ වුවත් ශ්‍රී ලංකාව වෙතින් අවාසනාවන්ත පරාජයක් ලැබූ බංග්ලාදේශය මෙම තරගාවලිය නිමවා සිය රට බලා යන්නේද ශ්‍රී ලංකාව හා සම ප්‍රසාද ලකුණු (4) තත්ත්වයකිනි. එහෙත් ප්‍රතිවාදීන්ට එරහිව වැඩිම ගෝල ගණනක් ලැබීමේ කාරණාව තුළ ශ්‍රී ලංකාව අවසන් තරගයේ අවස්ථාව උදාවිය. 

හෙට අවසන් තරගයේදී මුණගැසෙන මෙම දෙපිල කොළඹදී පසුගිය සෙනසුරාදා මුණගැසීමට පෙර අවසන් වරට 2014 දී  සුහද ජාත්‍යන්තර  තරග දෙකකදී මුණගැසී තිබේ. එහිදී එක් තරගයක් ශ්‍රී ලංකාව ජයගෙන (2-1) තිබේ. සෙසු තරගය ගෝල 3-0කින් ශ්‍රීලංකාව පරාජය වී තිබේ.

හෙට තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට අහමඩ් වසීම් රසික් ක්‍රීඩකයාගෙන් පිහිටක්  ලැබුණොත් ෂීසෙල්ස් කණ්ඩායමට  දැනෙන බලපෑමක් කිරීමේ හැකියාවක් පවතින බව පෙනේ. නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රිඩකයෙකු වන මොහු 27 හැවිරිදි ක්‍රීඩකයෙකි. ජර්මනියේ සම්භවයකින් යුත් ද්විත්ව පුරවැසි ලාංකිකයෙකි. 

මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර් ජාතික පාපන්දු තරග 12කදී ගෝල අටක් රැස් කිරීමට ඔහු සමත්ව තිබේ.  ඔහු මාලදිවයිනට එරෙහිව නොවැම්බර් 9 වැනිදා පැවති තරගයේ විනාඩි 28 කදී විශ්මිත ආකාරයෙන් පිට පිටම ගෝල හතරක් වාර්තා නොකරන්නට මෙම තරගාවලියේදීත් ශ්‍රී ලංකාව අතරමංවී අවසන්ය. 

මෙම තරගාවලියේ මෙතෙක් වැඩිම ගෝල ලාභියා බවටද (6) පත්ව සිටින අහමඩ් වසීම් රසික් මාලදිවයිනට හා බංග්ලාදේශයට එරෙහිව පැවති තරග දෙකකදීම තරගයේ වීරයාට සම්මාන දිනීය. 

මෙම අවසන් මහ තරගයට ප්‍රවේශවීම තුළ ඔක්තෝබර් මාසයේ මාලේ නුවරදී පැවති 13 වැනි සාෆ් ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද පරාජයේ අවමානය යම්තාක් ප්‍රමාණයකට අවම කර ගැනීමට සමත් වූ බව පෙනේ.

අන්තර් ජාතික තරග 46 ක අත්දැකීම් හෙබි 34  හැවිරිදි බෙනොසිට් මරේ හෙට තරගයේදීත් ෂීසෙල්ස් පිලට නායකත්වය දෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නාගේ  වගකීම් වඩාත් සාර්ථකව ඉටුකිරීමට උනන්දු වී සිටින 29 හැවිරිදි සුජාන් පෙරේරා හෙට සිය 40 වැනි ජාත්‍යන්තර තරගයට සහභාගි වෙමින් නායකත්වය ශ්‍රී ලංකා පිලට ලබාදේ.

හෙට මුණගැසෙන මෙ දෙරටේ පසුගිය වසරක (2021) ජාත්‍යන්තර තරග දක්ෂතා විමසීමේදී ශ්‍රී ලංකාව හෙට දක්වා තරග නවයකට සහභාගි වී තරග දෙකක් සම  කර එක් තරගයක් පමණක් ජයගෙන තිබේ. මෙකී කාලය තුළදී ෂීසෙල්ස් තරග පහකට සහභාගි වී ඉන් දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කර එක් තරගයක් ජයගෙන තිබේ. සෙසු  තරග තුනේදී කොමරෝස් (7-1), බුරුන්ඩි (8-1) රාජ්‍යයන් වෙතින් පරාජය වී තිබේ. 

ශ්‍රී ලංකා පුහුණුකරු බොස්නියානු ජාතික අමීර් ඇලජික් මහතා හෙට තරගයෙන් පසුව නිත්‍ය පුහුණුකරු ධුරයෙන් ඉවත්ව යයි.  එහෙත් ඔහු තවදුරටත් මෙරට ජාතික  පාපන්දු තාක්ෂණික අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ඇත.

ෂීසෙල්ස් ජාතිකයෙකු වන  රසීෆ් ජේන් ලුවිස් මහතා ෂීසෙල්ස් ජාතික පාපන්දු කණ්ඩායමේ  නිත්‍ය පුහුණුකරු ලෙස කටයුතු කරයි.   
 

  ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 

 බංගලාදේශ පාපන්දු කණ්ඩායම    


අදහස් (0)

ශ්‍රී ලංකාව - සීෂෙල්ස් අවසන් මහ තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.