ආසියානු හොකී සම්මේලනයේ 65 වැනි විධායක කමිටු රැස්වීම කොළඹදී පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවට හොකී සංවර්ධන කටයුතු සඳහා ප‍්‍රතිලාභ රැසක් හිමිවූ බව ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
ආසියානු හොකී සමුළුවේ විධායක කමිටු රැස්වීම පෙරේදා (22) රටවල් 13ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ”හිල්ටන්” හෝටලයේදී පැවැත්වුණි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුමිත් එදිරිසිංහ සහ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ උප ලේකම් ගාමිණී ජයසිංහ යන මහත්වරු සහභාගි වූහ.
ආසියානු හොකී සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ඩාවෝ වැන්ග් ශ්‍රී අලගේන්ද්‍රන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ විය. ශ්‍රී ලංකාවේ විශේෂ ආරාධිතයෙකු ලෙස සමුළුවේ සමාරම්භක අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහභාගි විය.
මෙම අවස්ථාවට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාද ආරාධනා ලැබ සිටියත් ඔහු ඒ සඳහා පැමිණ නොසිටියේය.
කෙසේ වුවත් සමුළුවේ නියෝජිතයන් වෙනුවෙන් පෙරේදා හිල්ටන් හෝටලයේ පැවැති රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට ක‍්‍රීඩා ඇමැතිවරයා සහභාගි විය.
ශ්‍රී ලංකාවේ පාසල් හොකී තරග සඳහා කෘත‍්‍රිම හොකී පිටියක් ලබාදීම, මෙරට හොකී ක‍්‍රීඩාවේ තාක්ෂණය දියුණු කිරීම සඳහා ආසියානු හොකී සම්මේලනයේ මෙහෙයවීමෙන් සම්මන්ත‍්‍රණයක් පැවැත්වීම, ශ්‍රී ලංකාවේදී රටවල් හතරක සහභාගිත්වයෙන් අන්තර් ජාතික හොකී තරගාවලියක් පැවැත්වීම, ඉන්ටියොන්ග් ආසියානු ක‍්‍රීඩා උළෙලට සූදානම් වන ශ්‍රී ලංකා හොකී කණ්ඩායමට ආසියානු හොකී සම්මේලනයේ අනුග‍්‍රහයෙන් විශේෂ උපදේශකවරයෙකුගේ සේවය ලබාදීම සම්බන්ධයෙන් කොළඹ පැවැති සමුළුවේදී ආසියානු හොකී සමුළුවෙන් එකඟතාවය පළවූ බව සුමිත් එදිරිසිංහ මහතා පැවැසීය.
මේ අතර ආසියානු හොකී සම්මේලනයෙන් ශ්‍රී ලංකවට පිරිනැමෙන රුපියල් ලක්ෂ 13ක හොකී ක‍්‍රීඩා උපකරණවලින් කොටසක් ශ්‍රී ලංකාවට ලබාදුන් බවත් ඔහු පැවැසීය.
ඊට හොකී පිති 250ක්, හොකී පන්දු 150ක් හා දැල් රකින්නන්ගේ ආවරණ තොගයක්ද ඇතුළත්වේ.
හොකී තරගය දැනට පවත්වාගෙන යන ක‍්‍රමවේදයේ වෙනසක් කිරීම සම්බන්ධයෙන් අන්තර් ජාතික හොකී සම්මේලනය ඉදිරිපත් කර තිබෙන යෝජනා පිළිබඳවද පෙරේදා පැවැති සමුළුවේදී සාකච්ඡ වී තිබේ.
දැනට හොකී තරගයක් විනාඩි 35ක් වන කොටස් දෙකකින් පැවැත්වෙන අතර එය විනාඩි 17 1/2 බැගින් වන කොටස් හතරක් (දැල්පන්දු තරග වලදී යොදා ගන්නා පරිදි) වන පරිදි පැවැත්වීම නව යෝජනාවයි.
එම ක‍්‍රමය මේ වනවිට තරග කීපයකදී අත්හදා බලා තිබෙන අතර නව ක‍්‍රමය ක‍්‍රියාත්මක වන්නේ නම් තරග වදින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට වැඩි විවේක කාලයක් හිමි වනු ඇත.
කොළඹ සමුළුවට සහභාගි වූ ආසියානු හොකී සම්මේලනයේ ලේකම් අලගේන්ද්‍රන් මහතා අද (24) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
හිල්ටන් හෝටලයේදී ආසියානු හොකී සමුළුවේ 65 වැනි විධායක සභා රැස්වීමේ අවස්ථාවක්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.