Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා කණ්ඩායම පත්තයා නුවරට යද්දී ක්‍රීඩා අමාත්‍යාංශය ඇහැ-කන පියාගෙන

ශ්‍රී ලංකා කණ්ඩායම පත්තයා නුවරට යද්දී ක්‍රීඩා අමාත්‍යාංශය ඇහැ-කන පියාගෙන

editorial - 2023 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තායිලන්තයේ  පත්තයා නුවර දී අද (12) ආරම්භ වන 24 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 17 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පෙරේදා (10) දිවයිනෙන් පිටත්ව ගියේය. රටවල් 43ක් සහභාගීවන මෙම තරගාවලිය ලබන ඉරිදා (16) දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකාව සහය දිවීමේ ඉසව් දෙකකින් ඇතුළුව ඉසව් ගණනාවකින් පදක්කම් දිනා ගැනීමේ දැඩි අපේක්‍ෂාවෙන් පසුවෙයි. කෙසේ වුවත් මෙම තරග සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යන විටත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය ලැබී නොතිබුණි.

සංචාරය සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර, නවාතැන් පහසුකම් හා වීසා ගාස්තු සඳහා රුපියල් ලක්‍ෂ 40 කට ආසන්න වියදමක් දැරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට සිදුවී තිබුණි.  මීට පෙර පැවැති කනිෂ්ඨ ආසියානු ශූරතා සහ යොවුන් ආසියානු ශූරතා තරගාවලි දෙකක සහභාගීත්වය සඳහාත් පසුව ගෙවීමේ පොරොන්දුව මත ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන තිබුණි.

කෙසේ වුවත් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය හමු කීපයකදීම පැවසුවේ එම වියදම් ඉදිරියේ දී ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලබාදෙන බවයි.

පත්තයා නුවරදී තරග සංවිධායකයන්ගේ වියදමින් (නිල වශයෙන්) නේවාසික පහසුකම් සැලසී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හත් දෙනකුට පමණක් බවත් එහි දී වාර්තා වේ.

1973 නවදිල්ලි සමාරම්භක තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව 1981 (ටෝකියෝ) හා 1983 (ක්වේට්) යන තරගාවලි හැරෙන්නට සෙසු සියලු තරගාවලි සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි. එහිදී මේ දක්වා ශ්‍රී ලංකාව රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 18ක් හා ලෝකඩ පදක්කම් 21 ක් පරිදි මුළු පදක්කම් 58ක් දිනා සිටියි.

අවසන් වරට 2019 ‘‘ඩෝහා’’ නුවරදී පැවැති තරගාවලියේදී, ශ්‍රී ලංකාවේ දස්කම් ගයන්තිකා අබේරත්නගේ ලෝකඩ පදක්කමට (මීටර 800 – කාන්තා) පමණක් සීමා වූවාය. එහෙත් තරගාවලිය නිමවීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් හිමි වීමේ සිදුවීම වූයේ තුන්පිම්ම (කාන්තා) ඉසව්වේ සිව්වැනි ස්ථානය ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකා විදුෂා ලක්‍ෂාණිට (මීටර 13.53) පසුව ලෝකඩ පදක්කම ප්‍රදානය වීමයි.

ඊට මුල් වූයේ නිල තරග ප්‍රතිඵලයට අනුව තෙවැනි ස්ථානය ලබා සිටි ඉන්දියා ක්‍රීඩිකාව තහනම් උත්තේජන චෝදනාවට වැරදිකාරිය වීමෙන් ඇයට ලෝකඩ පදක්කම අහිමි කිරීමයි.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ඉසව් වාර්තා දෙකකට තවමත් හිමිකම් කියයි. 1998 ෆුකෝකා තරගාවලියේදී මීටර 400 (පිරිමි) ඉසව්වෙන් සුගත් තිලකරත්න (තත්පර 44.61) හා එහි කාන්තා ඉසව්වෙන් දමයන්ති දර්ශා (තත්පර 51.05) එකී වාර්තා හිමිකාරීත්වය දරන ශ්‍රී ලාංකික ක්‍රීඩික ක්‍රීඩිකාවෝ වෙති.

මෙතෙක් තරගාවලියේ වැඩිම පදක්කම් දිනා ඇති ශ්‍රී ලාංකික දෙවැනි ක්‍රීඩිකාව වන්නේද දර්ශාය. ඒ රන් පදක්කම් පහක් හා එක් රිදී පදක්කමක් පරිදිය. වැඩිම පදක්කම් මෙතෙක් දිනා ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන්නේ සුසන්තිකා ජයසිංහයි. ඇය රන් පදක්කම් පහක් ඇතුළුව රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් ද දිනා ඇත. වැඩිම පදක්කම් දිනා ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයා සුගත් තිලකරත්නය. ඔහුගේ මුළු පදක්කම් එකතුවට රන් පදක්කම් තුනක් ඇතුළුව ලෝකඩ පදක්කම් පහක් අන්තර්ගත වේ.

‘‘බුඩාපෙස්ට්’’ හිදී ලබන අගෝස්තු 19 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ ලබා ගැනීම සඳහා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනකුම මෙහිදී උපරිම දක්‍ෂතා අතරට පිවිසීමට උනන්දු වී සිටිති.

 

24 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම

කාන්තා:- ගයන්තිකා අබේරත්න (කණ්ඩායම් නායිකා - මීටර 800 – 1500), සාරංගි සිල්වා (දුර පැනීම), රන්දි කුරේ (තුම්පිම්ම), දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසි කිරීම) හර්ෂණී ප්‍රනාන්දු (මීටර 4x400 හා මිශ්‍ර සහය), නදීෂා රමනායක (මීටර 4x400 – මිශ්‍ර සහය), ලක්‍ෂිමා මෙන්ඩිස් (මීටර 4x400) තරුෂි කරුණාරත්න (මීටර 800-මීටර 4 x 400 මිශ්‍ර සහය)

පිරිමි:- කාලිංග කුමාර (මීටර 4x400- මිශ්‍ර සහය), රජිත රාජකරුණා (මීටර් 400-මීටර 4x400 හා මිශ්‍ර සහය) පසිඳු කොඩිකාර (මිටර4x400- මිශ්‍ර සහය), අරුණ දර්ශන (මීටර 400 මීටර 4x400-මිශ්‍ර සහය), පබසර නිකු (මීටර 4x400-මිශ්‍ර සහය)

නිලධාරීන්:- පුහුණුකරුවන්:- අසංක රාජකරුණා, ඩබ්ලිව්.ජී. එම්.තුෂාර යන මහත්වරු කළමනාකරු:- ජගත් සිල්වා මහතා පාසල් ක්‍රීඩිකාවන් භාර නිලධාරිනි:-මුදිතා ලියනපතිරණ මහත්මිය.


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම පත්තයා නුවරට යද්දී ක්‍රීඩා අමාත්‍යාංශය ඇහැ-කන පියාගෙන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.