ක්‍රිකට් ඒඞ් ව්‍යාපෘතියට ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමක් සහ ලෝක කණ්ඩායමක් අතර විස්සයි-20 ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කරමින් සිටී. මෙම තරගය සැප්තැම්බර් මස 8 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වර්තමාන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් මේ වන විට සමුගෙන සිටින ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම මෙම තරගය සඳහා සහභාගි වීමට කැමැත්ත පළ කර සිටිති.
තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය ශ්‍රී ලංකාවේ කණ්ඩායමට එක්වීමට කැමැත්ත පළ කර ඇතත් කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට ඒ සඳහා සහභාගි වීමට නොහැකි බව තමන්ට ප්‍රකාශ කළේ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. මේ දිනවල බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන විස්සයි-20 ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින සංගක්කාර එංගලන්තයේ සරේ ප්‍රාන්ත පිල සමගද ගිවිසුම් ගතව සිටී.
“අපි කුමාර් සංගක්කාරට ලිව්වා. ඒත් (එංගලන්තයේ) ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සමග ඔහුට ඇති ගිවිසුම නිසා එයාට එන්න වෙන්නේ නෑ”
“මහේලටත් අපි කතා කළා. එයාටත් කළින් යොදාගත්ත වැඩ වගයක් තියෙනවා කිව්වා. ඒත් පුළුවන් වුණොත් ඒවා වෙනස් කරගන්න බලන්නම් කියලත් මහේල කිව්වා....කොහොම වුණත් තිලකරත්න ඩිල්ෂානුයි සනත් ජයසූරියයි ශ්‍රී ලංකාවේ කණ්ඩායමට ක්‍රීඩා කරන්න කැමැත්ත පළකරලා තියෙනවා” යයි ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
සහභාගි වන ක්‍රීඩකයන් කවුරුන්ද යන්න තවමත් ස්ථිර කර නැති බැවින් ශ්‍රී ලංකාවේ කණ්ඩායමේ නායකයා කවුරුන්ද යන්න තවමත් තීරණයක් ගෙන නැත.
ලෝක කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩකයන් නිදහස් කරන ලෙස ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු සියලුම රටවල ක්‍රිකට් ආයතනවලින් ඉල්ලීමක් කර ඇති අතර ඒ සඳහා එම රටවල එකඟතාව පළකර තිබේ.
මෙම තරගය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ අනුමැතිය හිමිවී තිබේ. මෙම තරගයෙන් ලැබෙන ආදායම ‘ක්‍රිකට් ඒඞ්’ ව්‍යාපෘතිය මගින් ස්වභාවික ආපදා හේතුවෙන් (ගංවතුර සහ නියඟය) විපතට පත් ප්‍රදේශ වල දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් යොමු කෙරේ.
තරගය රූපවාහිනියෙන් ලෝ පුරා විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.