Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රුමේෂ්-පසිඳු අවසන් තරගයට

රුමේෂ්-පසිඳු අවසන් තරගයට

editorial - 2022 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සුදුසුකම් සපිරීමේ තරගවල දී අපේක්‍ෂිත පරිසාධන මට්ටමට ළඟාවෙමින් ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ හා තුන් පිම්ම ක්‍රීඩක පසිඳු මල්ෂාන් කුමාරප්පේලි කොළොම්බියාවේ ‘‘කේලි’’ නගරයේදී දැන් පැවැත්වෙන 19 වැනි ලෝක ශූරතා කනිෂ්ඨ (වයස 20 න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියේ සිය ඉසව්හි අද (6) පැවැත්වෙන අවසන් තරග සඳහා නිර්දේශ ලබා ගත්හ.

එහෙත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලද ශ්‍රී ලංකා මීටර් 400 කඩුලු ක්‍රීඩක ධනුක දර්ශන එහි අද (6) පැවැත්වෙන අවසන් තරගයට ප්‍රවේශ ලබා ගැනීමට අපොහොසත් විය.

‘‘කේලි’’ නුවරදී පසුගිය සඳුදා (1) ආරම්භ වූ මෙම ලෝක ශූරතා තරගාවලිය අද (6) නිමාවට පත්වීමට නියමිතය.

හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ අවසන් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග හා තුන් පිම්ම (පිරිමි) අවසන් තරගයට සහභාගීවන පසිඳු මල්ෂාන් අද ඒ සඳහා තරග වැදීමට සූදානම්ව සිටියේ ශ්‍රී ලංකා වේලාවෙන් පාන්දර 3.30 සිටය.

මීටර 400 – කඩුලු (පිරිමි) ඉසව්වේ අවසන් පූර්ව පළමු තරගයට සහභාගී වෙමින් ධනුක දර්ශන පළ කළේ තත්පර 51.59 ක දක්‍ෂතාවකි. එහිදී ඔහුට හිමිවූයේ හත්වැනි ස්ථානයයි. එහි පළමු හා දෙවැනි ස්ථාන ලද ක්‍රීඩකයන් දෙදෙනා පමණක් අවසන් තරගයට නිර්දේශ ලබාගත්හ. එහෙත් ධනුක අවසන් පූර්ව තරගයට නිර්දේශ ලබාගත්තේ තත්පර 51.41 ක කාලයකට ය. එය ඉසව්වේ වයස 20 න් පහළ නව ජාතික වාර්තාවක් ලෙසද සටහන් විය.

අවසන් පූර්ව තරග සමස්ත ප්‍රතිඵලයට අනුව ධනුක ලබා සිටියේ 18 වැනි ස්ථානයයි. හෙල්ල විසි කිරීමේ ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේදී මීටර 70.68 ක මෙතෙක් සිය හොඳම දක්‍ෂතාවය දක්වමින් අද පැවැත්වෙන එහි අවසන් පූර්ව තරගයට නිර්දේශ ලබාගත්තේය.

සුදුසුකම් වටයට සහභාගී වූ ක්‍රීඩකයන් 18 දෙනා අතරේ රුමේෂ් පසුවන්නේ හයවැනි ස්ථානයේය. බහරේන් ක්‍රීඩක කෙයිසෝන් ස්ට්‍රාචාන් අවසන් තරගයට සහභාගී වන ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන්ම පසු වන්නේ මීටර 76.87 ක දක්ෂතාවයක් දක්වමිනි.

සුදුසුකම් වටයේ දී මීටර 15.73 ක මෙතෙක් සිය හොඳම දක්‍ෂතාව ඉසව්වේ වාර්තා කර සිටි ශ්‍රී ලංකා තුන්පිම්ම ක්‍රීඩක පසිදු ලක්‍ෂාන් අවසන් තරගයට නිර්දේශ ලබාගත් ක්‍රීඩකයන් අතර අටවැනි ස්ථානයේ පසුවේ.

මීටර 16.73 කට හොඳම දක්‍ෂතාවය වාර්තා කරමින් ඒ සඳහා ඉහළින්ම නිර්දේශ ලබාගත් ජැමෙයිකානු ක්‍රීඩක ජෝඩ්න් හිබේට් අද අවසන් තරගයේදී තුන්පිම්ම (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනාගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මෙම ඉසව්වට නිර්දේශ ලබාගත් ක්‍රීඩකයන් අතර ඉන්දීය ක්‍රීඩක සෙල්වා තිරුවරන් මීටර 15.99 ක දක්‍ෂතාවක් දක්වමින් මෙවර තරගාවලියේ පදක්කම් කෙරෙහි වඩාත් විශ්වාසයෙන් පසුවේ.

අද නිමාවට පත්වන ‘‘කේලි ලෝක ශූරතා’’ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු සහභාගී වූහ. එයින් දුර පැනීම (පිරිමි) ඉසව්වට නිර්දේශ වූ හිරුෂ ඒෂාන්ට තරග වැදීමට නොහැකි වූයේ කොළොම්බියාවට ළඟාවීමේදී ඇතිවූ ප්‍රමාදයක් හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මීටර 400 (කාන්තා) ඉසව්වේ අවසන් පූර්ව තරගයට නිර්දේශ ලබාගත්තත් ඇයට අවසන් තරගයේ අවස්ථාවක් හිමි නොවීය. මීටර 110 කඩුලු (පිරිමි) ඉසව්වේ මූලික වටයෙන්ම ශ්‍රීලංකා ක්‍රීඩක කවීෂ බණ්ඩාරට ඉවත්වීමට සිදුවිය. මීටර 400 – කඩුලු (කාන්තා) ඉසව්වේ මූලික තරගයෙන්ම පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා අමීෂා හෙට්ටිආරච්චිට සිදුවිය.

ඇමරිකා එක්සත් ජනපදය පදක්කම් සටහනේ ඊයේ (5) වන විට පෙරමුණේ පසුවූයේ රන් පදක්කම් පහක් දිනා ගැනීමෙනි. කෙන්යාව රන් පදක්කම් තුනක් දිනා දෙවැනි තැන ඒ වනවිට පසුවිය.

රටවල් 24ක් ඒ වන විට කුමන හෝ පදක්කමක් දිනා සිටි අතර ඉන්දියාව ඒ වනවිට එක් රිදී පදක්කමක් හා එක් ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් 17 වැනි ස්ථානයේ පසුවිය.

මීටර 400 (කාන්තා) ඉසව්වෙන් ඉන්දියාව ලෝකඩ පදක්කමක් හිමිකර ගන්නා අතර මීටර 400x4 මිශ්‍ර ඉසව්වෙන් ඉන්දියාව රිදී පදක්කම දිනාගත්තේය. ඉන්දීය ක්‍රීඩිකා රැපල් තත්පර 51.85 කට සිය මෙතෙක් හොඳම දක්‍ෂතාවය වාර්තා කරමින් ලෝක ශූරතා කනිෂ්ඨ ලෝකඩ පදක්කම දිනාගත්තාය.

ඉන්දියාව පින්ලන්තයේදී පැවැති අවසන් වරට පැවැති (2018) තරගාවලියේ දී එක් රන් පදක්කමක් දිනා 18 වැනි ස්ථානය ලබා තිබේ. එහි ජයග්‍රාහකයා රන් පදක්කම් හයක් දිනූ කෙන්යාවයි. ශ්‍රී ලංකාව මෙතෙක් ලෝක ශූරතා මලල ක්‍රීඩා කනිෂ්ඨ තරගාවලියක දී පදක්කම් දිනා ගැනීමට සමත්ව නැත.


අදහස් (0)

රුමේෂ්-පසිඳු අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.