Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රන්සිළුට කෙණිහිළිකම්

රන්සිළුට කෙණිහිළිකම්

රොෂාන් ගුණරත්න - 2017 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොහුවලදී පැවැති ජාතික සවි එසවීමේ තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා සවි එසවීමේ සම්මේලනයෙන් තමාට කිසිදු ආරාධනයක් නොලැබුණ බව ආසියානු වාර්තා ලාභි රන්සිළු ජයතිලක පවසයි.

ඉකුත්දා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේදී නිමාවට පත්වූ ආසියානු (ඉහළ ශ්‍රේණියේ) සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම් 3 ක් දිනාගනිමින් නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට රන්සිළු සමත් වූ අතර බයිලොරුසියාවේදී පැවැති ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී ඔහු කිලෝ ග්‍රෑම් 120 බර පංතියේ ක්‍රීඩකයන් අතර ලොව 7 වැනි ස්ථානයටද පත්විය.

ජාතික සවි එසවීමේ තරගාවලියේදී දැක්වූ දස්කම්වලට අනුව ආසියානු (ඉහළ ශ්‍රේණියේ) සවි එසවීමේ තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරාගත් බවද, ඒ අනුව කිලෝ ග්‍රෑම් 120 බර පංතියේ ජාතික ශූරතාව දිනාගනිමින් තමා ආසියානු තරගාවලියට සුදුසුකම් ලබාගත් බවත් රන්සිළු ජයතිලක පැවසීය. එසේ වුවත් තමා ආසියානු තරගාවලියේදී රන් පදක්කම් 3 ක් දිනාගෙන යළි දිවයිනට පැමිණෙන විට තමා ඇතුළු කණ්ඩායම පිළිගැනීම සඳහා ජාතික සවි එසවීමේ සම්මේලනයේ කිසිදු නිලධාරියකු ගුවන් තොටුපළ වෙත පැමිණ නොසිටි බව ඔහු සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව පැවැති ජාතික සවි එසවීමේ තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වන ලෙසද තමාට සම්මේලනයෙන් කිසිදු ආරාධනාවක් නොලැබුණ බව පැවසූ රන්සිළු, තමාට පමණක් නොව තමා සමග ආසියානු තරගාවලියට සහභාගි වූ සෙසු ක්‍රීඩකයන්ටද ඒ සඳහා ආරාධනා කර නොතිබූ බව කියා සිටියේය.

තවද ආසියානු තරගාවලියේදී වයස 40 න් ඉහළ ප්‍රවීණයන්ගේ කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 105 බර පංතියේ රන් පදක්කම දිනාගත් අතුල විජේවික්‍රමටද සම්මේලනයෙන් දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව වාර්තා වේ. තරගාවලිය සඳහා තෝරාගන්නා ලද කණ්ඩායමට ඔහුගේ නම ඇතුළත් කිරීමට සම්මේලනයේ නිලධාරීන්ට අතපසු වීම නිසා ඔහුට ප්‍රමාද ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් 100 ක මුදලක් අතින් ගෙවා තරගාවලියට ඇතුළත් වීමට සිදුව ඇතැයි දැනගන්නට ලැබේ.

ආසියානු තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටි යුද හමුදා සවි එසවීමේ ක්‍රීඩක එස්. කේ. ප්‍රදීප්ට ඊට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ඇත්තේද අතපසු වීමකින් බව වාර්තා වේ. ජාත්‍යන්තර තරගාවලි වලට සහභාගිවීම සඳහා ඔහුට සේවා ස්ථානයෙන් නිවාඩු ගැනීමට අවශ්‍ය වූවත්, ඒ සඳහා එස්. කේ. ප්‍රදීප්ව අදාළ තරගාවලියට තෝරාගත් බවට සඳහන් කරමින් ලිපියක් ඔහු සම්මේලනයෙන් ඉල්ලා තිබේ. එහෙත් සම්මේලනයෙන් එවන් ලිපියක් නොලැබීම හේතුවෙන් ඔහුට තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී ඇත.

එහිදී සැලකිය යුතු කරුණ වන්නේ ආසියානු තරගාවලියේදී ප්‍රදීප් නියෝජනය කරන කිලෝ ග්‍රෑම් 59 බර පංතියේ රන් පදක්කම හිමිවී ඇත්තේ කිලෝ ග්‍රෑම් 570 ක් එසවූ ක්‍රීඩකයාට වීමත්, ප්‍රදීප්ගේ ඉහළම දක්ෂතාව කිලෝ ග්‍රෑම් 597 ක් වීමත්ය. ඒ අනුව පෙනී යන්නේ නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් දිනාගැනීමට තිබූ අවස්ථාවක් මඟ හැරී ගොස් ඇති බවයි.

ආසියානු තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් පස් දෙනෙක් සහභාගි වී ඇති අතර ඔවුන්ට ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අනුග්‍රහය හිමි වී තිබේ. එහෙත් තරගාවලිය සඳහා සහභාගි වන නිලධාරීන්ට අනුග්‍රහය දැක්වීමට ක්‍රීඩා අමාත්‍යංශය ඉදිරිපත් නොවීම නිසා සම්මේලනයේ නිලධාරීන් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන්ට කුඩම්මාගේ සැලකිල්ලක් දැක්වූ බවද ක්‍රීඩකයෝ පවසති.

එහිදී ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබාදෙන අනුග්‍රහක චෙක්පත ලබාගැනීම සඳහා හෝ ක්‍රීඩකයන්ගේ වීසා ලබාගැනීම සඳහා සම්මේලනයෙන් කිසිදු සහායක් නොලැබුණ බවට ක්‍රීඩකයෝ මැසිවිලි නගති.


අදහස් (0)

රන්සිළුට කෙණිහිළිකම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.