Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඇරඹෙයි

යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඇරඹෙයි

editorial - 2021 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වසර 2019 ක්‍රීඩා උළෙලේ වයස 20න් පහළ දක්ෂතම මලල ක්‍රීඩිකාව වූ සදීපා හෙන්ඩර්සන් හා වයස 20න් ඉහළ දක්ෂතම මලල ක්‍රීඩකයා වූ ඉන්දික උදය කුමාර 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල ආරම්භ කරමින් ගිනිසිළුව දැල්වූ අයුරු.

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස පිටියේ දී අද (19) පස්වරුවේ පැවති සමාරම්භක උත්සවයෙන් ආරම්භ වූ 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය අද (20) පෙරවරු 8 සිට පැවැත්වේ.  ඒ මීටර් 10,000 වයස 20න් ඉහළ (පිරිමි) ඉසව්වෙනි. ලබන බදාදා (22) දක්වා ක්‍රීඩා උළෙල සිව් දිනත් පැවැත්වීමේ දී ඊට ඇතුළත් මලල ක්‍රීඩා ඉසව් ගණන 68කි.

මෙම මලල ක්‍රීඩා ඉසව් ගණන මෙතරම් වැඩිවීමට හේතුව වන්නේ වයස 20න් පහළ හා 20න් ඉහළ පරිදි කාන්තා හා පිරිමි ඉසව් 17ක් බැගින් කාණ්ඩ හතරකින් පැවැත්වීමයි.

අවසන් වරට වසර 2019 ට නියමිත 31 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල පසුගිය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 1 වැනිදා දක්වා පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමේ දී වාර්තා වී ඇත්තේ තරග වාර්තා දෙකකි.  මෙම ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තාවක් පළමුවෙන් පිහිටුවන මලල ක්‍රීඩකයා හෝ මලල ක්‍රීඩිකාව සඳහා මෝටර් රථයක් ප්‍රදානය කරමින් ඒ සඳහා උනන්දු කිරීමට ද මීට පෙර පැවති ක්‍රීඩා උළෙලවල දී තරග සංවිධායකයෝ උත්සාහ ගත්හ.

වසරේ පැවැත්වෙන දෙවැනි ප්‍රධානතම ක්‍රීඩා උළෙලේ දී හඳුනා ගැනෙන දක්ෂතම මලල ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් උසස් දක්ෂතා ප්‍රවර්ධන වැඩසටහනට අනුයුක්ත කිරීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා  උපදෙස් දී තිබේ.  ඒ අනුව ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ හිටපු සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා අද සිට පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලේ දක්ෂතම මලල ක්‍රීඩක ක්‍රීඩකයන් හඳුනා ගැනීම සඳහා යොදවා තිබේ.

බදාදා පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිත මීටර 100 x 4 කාන්තා හා පිරිමි සහය දිවීමේ ඉසව් දෙකින් පසුව 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල නිමාවට පත් කරමින් මෙවර මලල ක්‍රීඩා තරගාවලිය ද අවසන් කෙරේ.  වයස 20න් පහළ හා 20න් ඉහළ පරිදි තෝරා ගැනෙන දක්ෂතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනාට රුපියල් මිලියනයක් වන ත්‍යාග මුදලක් ප්‍රදානය කෙරේ.

 


අදහස් (0)

යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.