ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය ලබන ජූලි මස 15 වැනිදාට පෙර පැවැත්වීමට පසුගියදා පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී තීරණය කළ බව එම සංගමයේ වැඩබලන සභාපති චතුර ජයේන්ද්‍ර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
මේ වන විට වසර 2017 ට අදාල ගිණුම් වාර්තා විඝණකාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම සඳහා යොමුකර ඇති බවද, ඊට අනුමැතිය ලැබීමෙන් අනතුරුව මහ සභා රැස්වීම සහ නිලවරණය පැවැත්වීමට දිනයක් යොදාගන්නා බවද ජයේන්ද්‍ර මහතා වැඩි දුරටත් කියා සිටියේය.
සිකුරාදා පැවැති විශේෂ මහ සභා රැස්වීම සඳහා ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ අනු සංගම් 30 න් 17 ක් නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි වූ බව කී ජයේන්ද්‍ර මහතා, ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය සඳහා කැඳවූ නාමයෝජනා ඉවත්කර මෙම නිලවරණය සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට සාමාජිකත්වය ඒකමතිකව කැමැත්ත ප්‍රකාශ කළ බවද වැඩබලන සභාපතිවරයා සඳහන් කළේය.
නිලරවණ කමිටුවේ සභාපතිවරයා ලෙස කොළඹ මහ නරගසභාව් හිටපු නාගරික කොමසාරිස්වරයකු වන ජී.ජී. වීරක්කොඩි මහතා පත්කරගත් බවද, ඊට ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් දෙදෙනක් නම් කරන ලෙස මේ වන විටත් එම ආයතනවලින් ලිඛිතව ඉල්ලීම් කර ඇති බවද සභාපතිවරයා පවසා සිටියේය.
මින් වසර 3 කට පෙර 2015 වසරේදී පැවැති වාර්ෂික මහ සභා රැස්වීමෙන් අනතුරුව මේ දක්වා මේසපන්දු සංගමයේ මහ සභා රැස්වීමක් පැවැත්වී නොමැත.
ූ2015 වසරේදී පැවැති නිලවරණයේදී සභාපතිවරයා ලෙස පත්වූ රජීව විජේතුංග මහතා පසු කළෙක එම ධූරයෙන් ඉල්ලා අස්වූ අතර සංගමයේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා එවකට සංගමයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ නිරංජන් අබේසේන මහතා විධායක කමිටු රැස්වීමකදී වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනිණ.
එම කාල වකවානුව තුළ සංගමයේ තවත් නිලධාරීන් කිහිප දෙනෙක්ම ඉල්ලා අස්වීමත්, විධායක කමිටු රැස්වීම් වලට සහභාගී නොවීම මත ඇතැම් නිලධාරීන් සංගමයෙන් ඉවත් කිරීමත් හේතුවෙන් 2017 වසරේදී අප්‍රේල් මාසයේදී විශේෂ මහ සභා රැස්වීමක් පවත්වා සභාපති ධූරය සහ හිස්වී තිබූ සෙසු තනතුරු කිහිපයකට නිලධාරීන් පත්කර ගැනීමට සිදුවිය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සංගමයේ නව සභාපතිවරයා ලෙස පත්කර ගැනිණ.
සංගමයේ වත්මන් වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරන චතුර ජයේන්ද්‍ර මහතා උප සභාපතිවරයකු ලෙස විධායක කමිටුවට පත් වූයේද එම විශේෂ මහ සභා රැස්වීමේදීය.
කනක හේරත් මහතාගේ සභාපතීත්වය යටතේ දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලිය කොළඹදී පැවැත්වීමටද ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට හැකි විය. ඒ වන විට සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය පැවැත්වීමට කාලය පැමිණ තිබූ බැවින් නිලවරණය සඳහා නාම යෝජනා කැඳවීමට ඒ සඳහා පත්වූ නිලවරණ කමිටුව පියවර ගත්තේය.
විශේෂ මහ සභා රැස්වීමේදී සභාපති ධූරයට පත්ව සිටි කනක හේරත් මහතා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන දයා සමරවීර මහතා සභාපති ධූර අපේක්ෂකයන් ලෙස එම නිලවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළහ. කෙසේ වුවත් දෙදෙනාගේම නාමයෝජනයා සඳහා විවිධ පාර්ශව වලින් විරෝධතා ඉදිරිපත් වූ අතර එම විරෝධතා හේතුවෙන් නිලවරණය කිහිපවරක්ම කල් දැමීමටද නිලවරණ කමිටුවට සිදුවිය.
ඒ අතර තුර පැමිණි විරෝධතා සැළකිල්ලට ගෙන කනක හේරත් මහතා සංගමයේ සභාපති ධූරයෙන් ඉවත් කළ බව එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා මේසපන්දු සංගමයේ ලේකම් කසුන් උදාර මහතාට ලිපියක් යොමු කරමින් දන්වා සිටියේය. ඒ අනුව නැවත වරක් මේසපන්දු සංගමයේ සභාපති ධූරය හිස් විය.
අනතුරුව ලේකම් කසුන් උදාර මහතාගේ ප්‍රධානත්වයෙන් විධායක කමිටු රැස්වීමක් කැඳවා එහි වැඩි දෙනාගේ කැමැත්ත අනුව සංගමයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ චතුර ජයේන්ද්‍ර මහතා එහි වැඩබලන සභාපති වරයා ලෙස පත්කර ගැනිණ. එතැන් පටන් මේ දක්වා ඔහුගේ සභාපතීත්වය යටතේ සංගමයේ පරිපාලන කටයුතු සිදු කෙරිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.