Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට හිටපු සභාපතිට වසර 10 ක තහනමක්

මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට හිටපු සභාපතිට වසර 10 ක තහනමක්

editorial - 2024 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන කිත්සිරි ප්‍රනාන්දු මහතා එම සම්මේලනයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත වසර 10ක තහනමක් පනවා තිබේ.

මේ සම්බන්ධයෙන් කායවර්ධන සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වසර 2015 සිට 2019 දක්වා කායවර්ධන සම්මේලනයේ සභාපතිධුරය දැරූ කිත්සිරි ප්‍රනාන්දු මහතා එකී කාලය තුළදී එහි අරමුදල් තුළින් මුදල් අවභාවිත කර ඇතැයි සම්මේලනයේ අවසාන ගිණුම්වලින් නිගමනය වී තිබෙන බවයි.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ වත්මන් විධායක සභාව විනය කමිටුවේ නිර්දේශය මත කිත්සිරි ප්‍රනාන්දු මහතාට වසර 10ක තහනමක් පැනවූ බව ඔහුට මේ සම්බන්ධයෙන් යොමුකර තිබෙන දැනුම් දීමේ ලිපියේ දැක්වේ.

එම නිවේදනයේ චෝදනා යටතේ මෙසේ දක්වා ඇත. (01) 2015 වසරේ රුපියල් 1,50,000ක් හා 2016 වසරේ රුපියල් 6,50,000ක්ද ඔබ විසින් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයට ගෙවිය යුතු බව විගණනය වෙත දෙන ලද ගිණුම් ප්‍රකාශවල අත්සන් තබා තහවුරු කිරීම.

(02) ඉහත චෝදනා සියල්ලටම ඔබ වැරැදිකරු වී ඇති බැවින් මින් ඉදිරියට සම්මේලනයේ අනුබද්ධිත ක්‍රීඩා සමාජයක හෝ සංවිධානයක නාමිකයකු ලෙස පෙනී සිටීම සම්මේලනයේ මහා සභා රැස්වීමට සහභාගිවීම, සම්මේලනයේ හෝ ක්‍රීඩා සමාජයක කිසිදු ක්‍රියාකාරි කටයුත්තක් ඉටුකිරීම, දිස්ත්‍රික්, පළාත් හෝ ජාතික ක්‍රීඩා තරගයක කිසිදු විනිශ්චය කටයුත්තක් කිරීම වසර 10ක් යනතෙක් තහනම් කර ඇති බව දැනුම් දෙමි.

කිත්සිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව මීට පෙරත් මෙම චෝදනා මුල්කර ගනිමින් ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකය විසින් ලද පැමිණිල්ලකට අනුව විමර්ෂණයක් සිදුකළ අතර එහිදී ඔහුට කායවර්ධන ක්‍රීඩා කටයුතුවල නිරතවීමේ තහනමක් පනවනු ලැබීය.

කෙසේ වුවත් ඔහු ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් දඬුවම ගෙවන අතරතුරේදී එම චෝදනාවලින් නිදහස්වීමට සමත්විය.

කායවර්ධන සම්මේලනයේ වත්මන් විධායක සභාව ඔහුට පැනවූ වසර 10ක තරග තහනමට එරෙහිව මෙතෙක් ඔහු අභියාචනයක් ඉදිරිපත් කර නැතැයි ද වාර්තා වේ.

කායවර්ධන සම්මේලනයේ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට සම්මේලනයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා මත සම්මේලනයේ තවත් හිටපු නිලධාරීන් දෙදෙනකුට එරෙහිව විමර්ෂණ ආරම්භ කර තිබේ. එහි තීන්දුව නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

පසුගිය වසර ගණනාවක් පුරා කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරුන් ඇතුළු එහි ඉහළ පෙළේ නිලධාරින් ගණනාවක්ම මේ ආකාරයට දූෂණ චෝදනාවලට ලක්වීම නිසා ක්‍රීඩා අමාත්‍යාංශය ද විමර්ශන සිදු කළේය. එහිදී ඔවුන් වැඩි දෙනකුට දඬුවම් නිර්දේශ විය.


අදහස් (0)

මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට හිටපු සභාපතිට වසර 10 ක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.