Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මීටර 400න් රාජිතගෙන් දස්කම්

මීටර 400න් රාජිතගෙන් දස්කම්

editorial - 2023 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී අද (28) ආරම්භ වූ 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පළමු දිනය නිමාවේ දී ආරාධිත ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා කැපී පෙනුණි.

එහිදී හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ තරගාවලියේ නව වාර්තාව මීටර් 84.38කට හිමිකර ගැනීමට ඉන්දීය ක්‍රීඩක කිෂෝර් කුමාර් සමත් විය. එම දක්ෂතාව සැලකෙන්නේ එම ඉසව්වෙන් ශ්‍රී ලංකාව තුළදී මෙතෙක් ක්‍රීඩකයකු වෙතින් වාර්තා වූ හොඳම දක්ෂතාව හැටියටය.

මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව මීටර් 83.04ක අගයක් ගන්නා අතර එහි හිමිකරුවා වූ සුමේධ රණසිංහගේ අද ඉසව්වේ දක්ෂතා මීටර් 73.40කට සීමාවීමෙන් ඔහුට අත් වූයේ තෙවැනි ස්ථානයයි.

අද ඉසව්වේ දෙවැනි ස්ථානයද ඉන්දීය ක්‍රීඩකයෙකුට හිමි වූ අතර ඒ  සිවගල් සිංග්ය.

ඔහුගේ දක්ෂතාව මීටර් 77.36ක් විය. හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව (මීටර් 83.04) මෙන්ම ශූරතා තරග වාර්තාවට (මීටර් 82.18) හිමිකම් කියන්නේ අද තෙවැනි ස්ථානයට පත් සුමේධ රණසිංහටය.

මීටර් 400 (පිරිමි) ඉසව්වේ අද පස්වරුවේ පැවැති අවසන් පූර්ව වටයේ දී තත්පර 45.98ක දක්ෂතාවක් පළ කරමින් අවසන් තරගයට නිර්දේශ වුණු රාජිත රාජකරුණා අවුරුද්දක් තුළදී තත්පර 46ට අඩුවෙන් ඉසව්වේ දක්ෂතා පළ කළ මෙරට තෙවැනි ක්‍රීඩකයා බවට පත් විය.

අවුරුද්දක් තුළදී එවැනි දක්ෂතාවක් මීටර් 400 (පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් තිදෙනකු වෙතින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බව ශ්‍රී  ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.
මීට පෙර අරුණ දර්ශන තත්පර 45.49 ක් ලෙසත් කාලිංග කුමාරගේ තත්පර 45.64 ක් ලෙසත් මෑත දී ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර තරගාවලි දෙකකදී දක්ෂතා පළ කර තිබේ.

මේ අතර කලකට පසුව දේශීය තරගාවලියකට සහභාගි වෙමින් මීටර් 100 (කාන්තා) මූලික වටයට සහභාගි වූ සාග් රන් පදක්කම්ලාභිණියක් මෙන්ම ආසියානු ශූරතා ලෝකඩ පදක්කම්ලාභිණියක්ද වන රුමේෂිකා රත්නායක එහිදී තත්පර 11.88ක දක්ෂතාවක් පළ කළහ.

රුමේෂිකාගේ මීටර් 100 කාන්තා ඉසව්වේ හොඳම දක්ෂතාව තත්පර 11.60ක් ලෙස දැක්වේ. ඒ 2016 ‘ගුවහාටි’ සාග් ක්‍රීඩා උළෙලේදී එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වීමෙනි.

අද පැවැති ඉසව් කීපයක ජයග්‍රහණ ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් අත්කර ගැනීම කැපී පෙනුණි. තරගාවලිය ආරම්භ කරමින් පැවති මීටර් 10000 (කාන්තා) ඉසව්වේ ජය ඉන්දික ක්‍රීඩිකා සීමා විසින් දිනා ගත්තේ විනාඩි 35 තත්පර 39.22කටය. 101 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලිය අදත් හෙටත් (29-30) සුගතදාස පිටියේ දී පැවැත්වේ. එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙල හා ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් නිර්දේශ කර ගන්නා අවසන් තේරීම් තරග ලෙසත් මෙවර ජාතික තරගාවලිය පැවැත්වේ.

 

මීටර 400 (පිරිමි ඉසව්වෙන්) අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, රාජිත රාජකරුණා තත්පර 46ට අඩුවෙන් දක්ෂතා හිමිකර ගත්හ.


අදහස් (0)

මීටර 400න් රාජිතගෙන් දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.