Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මීටර 400x4 සහය දිවීමෙන් ආසියාවේ වේගවත්ම කාලය

මීටර 400x4 සහය දිවීමෙන් ආසියාවේ වේගවත්ම කාලය

editorial - 2023 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පළමු වරට මෙරටදී පැවැති මීටර්  400x4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්ව විනාඩි 3 තත්පර 18.83 කට නිමා කරමින් එළඹෙන ආසියානු ශූරතා තරගාවලියට නිර්දේශවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගය පැවැති පසුගිය සිකුරාදා (23) වන විට එහි ආසියාවේම හොඳම කාලය වාර්තා කිරීමට සමත් විය.

අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීෂා රාමනායක හා තරුෂි කරුණාරත්න යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එම වාර්තාගත මිශ්‍ර සහාය දිවීම කරමින් ලෝකයෙන්ම නව වැනි ස්ථානයට ද පත්ව සිටියේය. හංගේරියාවේ දී පැවැත්වෙන  මීළඟ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් මීටර 400x4 මිශ්‍ර කණ්ඩායමත් ඉදිරිපත් කළ හැකි දුර්ලභ අවස්ථාවක් කෙරෙහි ඉහළම බලාපොරොත්තු දල්වා තිබිණි.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් සමන්විත ශ්‍රී ලංකා මීටර්  400x4 මිශ්‍ර කණ්ඩායම එළඹෙන ජූලි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා තායිලන්තයේ පතායා නුවර දී පැවැත්වෙන මීළඟ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරඟාවලියට නිර්දේශ වී සිටියි.

කොළඹ සුගතදාස පිටියේදී සිකුරාදා පැවැති පෙරහුරු තරගයේ දී දැක්වූ දක්ෂතා අනුව ශ්‍රී ලංකාව මෙම මිශ්‍ර සහය දිවීම ඉසව්වෙන් පදක්කමක් දිනාගැනීමේ නිසැක අවස්ථාවක් හිමිව තිබෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (ආයතනයේ) ප්‍රධාන ලේකම්, හිටපු ජාතික මලල ක්‍රීඩා දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසීය.

1973 දී ආරම්භ වූ මෙවර 24 වැනි වතාවටත් සංවිධානය කරන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරඟාවලියකට මෙම මිශ්‍ර ඉසව්ව ඇතුළත් පළමු අවස්ථාව වෙයි.

හංගේරියාවේ බුඩාපේස්ට් නුවර දී අගෝස්තු 19 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන මීළඟ ලෝක මලල ක්‍රීඩා තරඟාවලියට මීටර්  400x4 මිශ්‍ර ඉසව්වෙන් දැනටමත් කණ්ඩායම් අටක් නිර්දේශවී අවසන්ය. ඒ පැවැති ලෝක සහය දිවීමේ තරඟාවලිය පාදක කර ගනිමින් කළ තේරීම් වලිනි. ඒ අනුව ඒ සඳහා නිර්දේශ කර ගන්නා ඉතිරි කණ්ඩායම් අටට ඇතුළත් වීමට ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායමට ආසියානු ශූරතා තරගාවලියේ දී අවම විනාඩි 3 තත්ත්පර 17.00 ක දක්ෂතා දැක්විය යුතුය.

2023 මලල ක්‍රීඩා ලෝක වර්ගීකරන ලැයිස්තුවට අනුව මෙම මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව සඳහා බුඩාපේස්ට් ලෝක ශූරතා තරඟාවලියේ දී ඉතිරි කණ්ඩායම් අට නිර්දේශ ලැබීමට නියමිතය. පතායා ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේ දී ශ්‍රී ලංකාව මීටර්  400x4 කාන්තා හා පිරිමි ඉසව් දෙකටම කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමට ද මේ අතර සැළසුම් කර තිබේ.

එළෙඹෙන ජුලි 28-29-30 යන දිනවල සුගතදාස පිටියේ දී පැවැත්වෙන 101 වන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ දී ඉන්දියාව හා ජපානය කැඳවමින් ඒ සඳහා පෙරහුරු තරඟ පැවැත්වීමට ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සැලසුම් කර ඇත.


අදහස් (0)

මීටර 400x4 සහය දිවීමෙන් ආසියාවේ වේගවත්ම කාලය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.