Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැස්ක්වෙල් එක්දින පිටියෙන් සමුගනී

මැස්ක්වෙල් එක්දින පිටියෙන් සමුගනී

editorial - 2025 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේදී (2026) පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කෙරෙහි වැඩි අවදානයක් යොමුකිරීමේ අරමුණින් තමා එක්දින ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා බව ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් පවසයි. 

මේ වන විට 36 වැනි වියේ පසුවන මැක්ස්වෙල් 2012 වසරේ සිට මෙම වසර දක්වා කාලය තුළ එක්දින ජාත්‍යන්තර තරග 149 කදී ඕස්ට්‍රේලියාව නියෝජනය කර ඇත. ඔහු 2015 සහ 2023 එක්දින ලෝක කුසලාන සහ 2021 විස්සයි-20 ලෝක කුසලාන ජයගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වල සාමාජිකයකුද වේ. 

ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට එරෙහිව 2023 ලෝක කුසලාන තරගයකදී රැස්කළ ලකුණු 201 මැක්ස්වෙල්ගේ හොඳම එක්දින ඉනිම වේ. එම තරගයේදී ලකුණු 91 කට කඩුලු 7 ක් බිඳවැටී තිබියදී පිටියට පිවිසි මැක්ස්වෙල්, පන්දු 128 කින් ද්විත්ව ශතකයක් ලබාගනිමින් සිය කණ්ඩායම අවසන් පූර්ව වටයට කරා ගෙන ගියේය.

එම තරගාවලියේම නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයකදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 40 කින් ශතකයක් ලබාගැනීමටද මැක්ස්වෙල් සමත් විය. කෙසේ වුවත් මෙම වසරේ මාර්තු මාසයේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔහු විවිධ ආබාධ තත්වයන් හේතුවෙන් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායම නියෝජනය නොකළේය.

සිය එක්දින ක්‍රීඩා දිවිය තුළ ශතක 4 ක් සහ අර්ධ ශතක 23 ක් සමග ලකුණු 3990 ක් රැස්කිරීමට මැක්ස්වෙල් සමත්ව ඇත්තේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 33.81 ක් ලෙස රඳවාගනිමිනි. එහිදී සිය ප්‍රහාරාත්මක වේගය 126.7 ක් ලෙස පවත්වාගෙන ඇති මැක්ස්වෙල්, කඩුලු 77 ක් දවාගැනීමටද සමත්ව ඇත. 

“ඇතැම් අවස්ථාවල මට හිතිලා තියෙනවා ආබාධ තත්වයන් එක්ක ක්‍රීඩා කරද්දි මම කණ්ඩායම තරමක් පසුපසට ඇදලා දානවද කියලා. තේරීම් කමිටු සභාපති ජෝජ් බේලි මගෙන් ඇහුවා 2027 ලෝක කුසලාන තරගාවලිය දක්වා ක්‍රීඩා කරන්න සූදානම්ද කියලා. ඇත්තටම මම හිතන්නෙ නෑ මට එච්චර කාලයක් ක්‍රීඩා කරන්න පුලුවන් වෙයි කියලා.”

“ඒ නිසා තවදුරටත් මම එක්දින කණ්ඩායමට ක්‍රීඩා කරන එක තේරුමක් නැහැ. මොකද ඔවුන් (තේරීම් කමිටුව) 2027 ලෝක කුසලානයට දැන්ම ඉදලා කණ්ඩායම සූදානම් කරන ගමන් ඉන්නෙ. ඉතින් ඔවුන්ට අලුත් ක්‍රීඩකයන් සමග අත්හදා බැලීම් කරලා ඒ ඒ ස්ථානවලට සුදුසු ක්‍රීඩකයන් තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙමින් මම ඉවත් වෙන්න තීරණය කළා.” යැයි සිය සමුගැනීම සම්බන්ධයෙන් මැක්ස්වෙල් කියා සිටියේය. 


අදහස් (0)

මැස්ක්වෙල් එක්දින පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.