Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාලිංගට දෙන තෑග්ග තරගය ජය ගැනීමයි

මාලිංගට දෙන තෑග්ග තරගය ජය ගැනීමයි

යොහාන් භාසුර - 2019 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සංචාරක බංග්ලාදේශ පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (26) පැවැත්වේ. දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

 මෙම තරගය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවසන් එක්දින ජාත්‍යන්තර තරග වීම නිසා බොහෝ දෙනකුගේ අවදානයට ලක්ව තිබේ. 
ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් කීපදෙනකු පමණක් ඊයේ පුහුණු සැසියට සහභාගි වූ අතර ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය හමුවේදී පැවසුවේ මාලිංගට දෙන ඉහළම ගෞරවය මෙම තරගය ජය ලැබීම බවයි. 

“මාලිංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෙක්. ඔහුගේ අඩුව පුරවන්න ගොඩක් අමාරු වෙයි. මේ තරගය ඔහුගේ අවසන් තරගය වීම නිසා ඔහුට දෙන ලොකු ත්‍යාගය වෙන්නේ තරගය ජය ලැබීමයි. ඒ නිසා අපි දැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ තරගය ජය ලැබීමටයි”

“අප නවාතැන් ගෙන සිටින හෝටලයෙත් මාලිංගට ඇගයීමක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තරගයෙන් පසුවත් උත්සවයක් තියෙනවා”
අද තරගය වෙනුවෙන් ලැබී තියෙන තණතීරුව සහ කණ්ඩායම පිළිබඳව දිමුත් වැඩි දුරටත් මෙසේ පැවසීය. 

“අද තරගය සඳහා හොඳ තණතීරුවක් ලැබී තිබෙනවා. පිතිකරුවන්ට වාසිදායක වෙයි. ඒ වගේම වේග පන්දු යවන්නන්ටත් හොඳයි වගේ. සමබර තණතීරුවක් ලැබෙන එක හොඳයි”

“ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දියාවට එරෙහිව තරගයට සහභාගි වූ කණ්ඩායමට සමාන කණ්ඩායමක් සහභාගි වෙයි. පන්දු යවන්නන් පස්දෙනකු සමඟ අපි තරගයට එනවා”

“පිතිකරු ලැයිස්තුවේ අංක හය ස්ථානයේ තිරිමාන්න ක්‍රීඩා කරයි. අමතර පන්දු යවන්නකු ක්‍රීඩා කරන්නේ නෑ. අතිරේක පන්දු යවන්නකු ක්‍රීඩා කළහොත් ඔහුට යවන්න වෙන්නේ ඕවර දෙක තුනක් පමණයිනේ. ළහිරුටත් ඕවර දෙක තුනක් යවන්න පුළුවන්”

බංග්ලාදේශ පිල ඊයේ පස්වරුවේ පුහුණු සැසියට සහභාගි වීමට නියමිතව තිබූ අතර නායක තමීම් ඉක්බාල් මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබීම හේතු-වෙන් මෙය හොඳ අවස්ථාවක් බවයි.  

“ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව ලෝක ක්‍රිකට් පිටියේම ප්‍රබල චරිතයක්. බංග්ලාදේශ ජනතාවත් ඔහු පන්දු යවනවා බලන්න කැමතියි. මේ තරගය ඔහුට විශේෂ තරගයක් බවට පත්ව තිබෙනවා. මම සහ මගේ රටේ ජනතාව ඔහුට සුබ පතනවා”

“මට තණතීරුව බලන්න තවම ලැබුණේ නෑ. අපිට මෙම ක්‍රීඩාංගණයේ නිදහස් කුසලාන තරගාවලියේදී හොඳ තණතීරුවක් ලැබුණා. අපි වේග පන්දු යවන්නන් තිදෙනකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් සමගින් තරගයට එනවා” යැයි තමීම් වැඩි දුරටත් පැවසීය. 

ශ්‍රී ලංකා සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, කසුන් රාජිත, වනිඳු හසරංග, අකිල ධනංජය, ළහිරු කුමාර සහ ෂෙහාන් ජයසූරිය 

බංග්ලාදේශ සංචිතය:
තමීම් ඉක්බාල් (නායක), ෆර්හාද් රීසා, සෞම්‍ය සාකර්, එනමුල් හක්, මොහොමඞ් මිතුන්, මුෂ්ෆිකුර් රහීම්, මහමුද් උල්හා, මොසඩික් හොසේන්, ශබීර් රෙහෙමාන්, මෙහෙදි හසන්, තයිජුල් ඉස්ලාම්, රුබෙල් හුසේන්, ටස්කින් අහමඞ් සහ මුස්තෆිෂූර් රහමන් 
 


අදහස් (1)

මාලිංගට දෙන තෑග්ග තරගය ජය ගැනීමයි
  • Vernon Friday, 26 July 2019 08:35 AM

    මාලිංග ගියාට පස්සේ මැච් පරදින්න බෑ හොඳේ .....

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.