Last Update  :  2024-04-26 18:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මානෙල් ධර්මකීර්ති වුෂූ මුල් පුටුවට යළිත්

මානෙල් ධර්මකීර්ති වුෂූ මුල් පුටුවට යළිත්

editorial - 2021 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ සභාපතිවරයා‍ ලෙස පිට පිටම දෙවැනි වරටත් නිතරගයෙන් පත්වීමට මානෙල් ධර්මකීර්ති මහතා සමත් විය. මෙවර ඔහු එම ධූරයට පත්වූයේ 2021-2025 කාල වකවානුව සඳහාය. මින් පෙර ඔහු 2017-2021 කාල වකවානුව තුළද ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ සභාපතිවරයා‍ ලෙස කටයුතු කළේය.

ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැති 2021 නිලවරණය සඳහා ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයට අනුබද්ධ සංගම් සහ ක්‍රීඩා සමාජ 61 න් 41 ක් සහභාගි වූහ. එහෙත් මෙවර නිලවරණය සඳහා එක් පාර්ශවයක් පමණක් නාම යෝජනා ඉදිරිපත් කර තිබීම හේතුවෙන් කිසිදු තනතුරක් සඳහා ඡන්දයක් නොපැවැත්වුණ අතර සියලුම නිලධාරීහු නිතරගයෙන් පත්වූහ.

මහේන්ද්‍ර ‍ඒකනායක, කිත්සිරි සුබසිංහ, අරුණ කුමාර, නිශාන්ත පතිරාජ සහ ලක්ෂ්මන් කරුණාරත්න යන මහත්වරු සම්මේලනයේ උප සභාපතිවරු ලෙස පත්වූහ. විජිත් එදිරිසිංහ මහතා සංගමයේ ලේකම්වරයා ලෙසත්, අජිත් කරුණාරත්න සහ අජන්ත බණ්ඩාර යන මහත්වරු උප ලේකම්වරු ලෙසත් පත්වීම් ලැබූහ.

එම නිලධාරීන්ට අමතරව සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව භාණ්ඩාගාරික, උප භාණ්ඩගාරික, තරගාවලි ලේකම් සහ  උප තරගාවලි ලේකම් (2) යන තනතුරු සඳහා නිලධාරීන් 5 දෙනෙක්ද, විධායක කමිටුව සඳහා නිලධාරීන් 7 දෙනෙක්ද පත්වූහ. ඉන් අනතුරුව එම නිලධාරීන්ගේ එකමතික තීරණය මත රුචිර බෝධිනාගොඩ මහතා සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්කර ගනු ලැබිණ.

වූෂූ සම්මේලනයේ සභාපතිවරයා ලෙස සිය දෙවැනි ‍ධූර කාලය ආරම්භ කළ ධර්මකීර්ති මහතා ‘ලංකාදීප’ ‍වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමාගේ ප්‍රධානතම බලාපොරොත්තුව 2022 වසරේ සැප්තැම්බර් මාසයේ චීනයේදී පැවැත්වීමට නියමිත ‍19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී වූෂූ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාගැනීම බවයි.

සිය පළමු ධූර කාලය තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරගාවලිවලදී රන් පදක්කම් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 14 ක් සහ‍ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගැනීමට මෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලේදී සන්දා අංශයෙන් සිවුවැනි ස්ථානයක් හිමිකරගැනීමටද හැකි වූ බවද ධර්මකීර්ති මහතා කියා සිටියේය. ඒ සඳහා අවශ්‍ය දස්කම් සහිත ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ සිටින බවත් පසුගිය තරගාවලින්හිදී ඔවුන් ලැබූ ජයග්‍රහණ අනාගතය සඳහා සාධාරණ බලාපොරොත්තුවක් බවත් ධර්මකීර්ති මහතා වැඩිදුරටත් පැවසීය.

වුෂූ ක්‍රීඩාවට නිල අනුග්‍රාහකයකු නොමැති වීම, තාවුලු දුෂ්කර අභ්‍යාස පලස එලාගැනීමට සහ සන්දා තරග වේදිකාව ඉදිකර ගැනීමට ස්ථිර ස්ථානයක් නොමැතිවීම තමත් ඇතුළු නිලධාරී මණ්ඩලය මුහුණදී ඇති විශාලම ගැටලු බව පැවසූ ධර්මකීර්ති මහතා, ඉදිරියේදී කෙසේ හෝ එම ගැටලු සඳහා විසඳුම් සොයාගැනීමට කටයුතු කරන බවද වැඩි දුරටත් සඳහන් කළේය.


ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ නව නිලධාරී මඩුල්ල

සභාපති - මානෙල් ධර්මතීර්ති මහතා
උප සභාපතිවරු - ‍මහේන්ද්‍ර ‍ඒකනායක, කිත්සිරි සුබසිංහ, අරුණ කුමාර, නිශාන්ත පතිරාජ සහ ලක්ෂ්මන් කරුණාරත්න යන මහත්වරු
ලේකම් - විජිත් එදිරිසිංහ මහතා
උප ලේකම්වරු - අජිත් කරුණාරත්න සහ අජන්ත බණ්ඩාර යන මහත්වරු  
භාණ්ඩගාරික - හරේන්ද්‍ර ජයතිස්ස මහතා
උප භාණ්ඩගාරික - ජගත් වීරසිංහ මහතා
තරගාවලි ලේකම් - ආනන්ද කුමාර හේරත් මහතා
තරගාවලි උපලේකම්වරු - බ්‍රයන් ජැන්සන් සහ ජීවන් මධුරංග යන මහත්වරු
විධායක කමිටුවේ සෙසු සාමාජිකයෝ - චාමර ධර්මදාස, නිරෝෂන් බණ්ඩාර, විරාජ් දේනුක, වසන්ත රංජිත් බණ්ඩාර, ශාන්ත ප්‍රනාන්දු, රසාංජලී මේනකා, ක්‍රිෂාන්ත කස්තුරිආරච්චි යන මහත්ම මහත්මීහු
ප්‍රධාන විධායක නිලධාරී - රුචිර බෝධිනාගොඩ මහතා


පසුගිය වසර 4 ක කාලයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා ලද ජාත්‍යන්තර පදක්කම් සහ ජයග්‍රහණ

2017 - රුසියා‍වේදී පැවැති ලෝක ශූරතාවලියේ සන්දා ‍අංශයෙන් ලෝකඩ පදක්කමක්
2018 - චීනයේදී පැවැති 8 වැනි ලෝක කුම්ෆු තරගාවලියේ රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කම් 8 ක්
2018 - චීනයේ‍දී පැවැති සන්දා ලෝක කුසලාන තරගාවලියේදී ලෝකඩ පදක්කමක්
2018 - ඉන්දුනිසියාවේදී පැවැති ආසියානු ක්‍රීඩා උ‍ළෙලේ සන්දා අංශයේ 4 වැනි ස්ථානය
2019 - නේපාලයේදී පැවැති දකුණු ආසියානු ‍ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක්

 


අදහස් (0)

මානෙල් ධර්මකීර්ති වුෂූ මුල් පුටුවට යළිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.