කොළඹ ඔරු පදින්නන්ගේ සංගමය 79 වැනි වරටත් පවත්වනු ලබන ‘ මදුරාසි-කොළඹ ඔරු පැදීමේ තරගාවලිය’ මේ මස 21 වැනිදා කොළඹ ඔරු පැදීමේ සංගම් පරිශ්‍රයේදී පැවැත්වේ.
දශක ගණනාවක් පුරාවට ඉන්දියාවේ මදුරාසි ඔරු පදින්නන්ගේ සංගමය සමගින් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 25ක් සහභාගි වෙති. මෙවර තරගාවලිය සඳහා පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද සහභාගි වීමට අවස්ථාව උදාකර දී ඇත. ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයේ මෙවර පාසල් ක්‍රීඩකයන් 8 දෙනෙකු නියෝජනය කරයි. මෙවර කාන්තා සංචිතයේ විශේෂත්වය වන්නේ, සහභාගී වන ක්‍රීඩිකාවන් 7 දෙනෙකුගෙන් යුත් සංචිතයේ 5 දෙනෙකුම කොළඹ කාන්තා විද්‍යාලය නියෝජනය කරමින් මෙවර තරගාවලියට සහභාගී වීමයි. මදුරාසි කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයන් 13 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 5 දෙනෙකු සහභාගී වීමට නියමිතය.
ක්‍රීඩකයන් සිව්දෙනෙක් පැද යන තනි හබල් ඔරු තරගය, ක්‍රීඩකයන් දෙදෙනා බැගින් පැද යන ද්විත්ව හබල් ඔරු තරගය, යුගල ඔරු තරගය සහ කේවල ඔරු තරගය වශයෙන් කාණ්ඩ 4 කින් කාන්තා පිරිමි තරග පැවැත්වීමට සංවිධායකවරු තීරණය කර ඇත.
“ මදුරාසි ඔරු පැදීමේ සංගමය එක්ව දීර්ඝ කාලයක් අප පවත්වා ගෙන යන මේ බැඳීම තව දුරටත් ඉදිරියටත් පවත්වා ගෙන යාම අපේ මූලික අපේක්ෂාවයි. අපේ ක්‍රීඩකයන්ට අපි කියලා තියන්නේ ඒ සුහදත්වය දිගින් දිගටම රැකගන්න කියලයි. ඇත්තටම ලංකාවේ ඔරු පැදීමේ ක්‍රීඩාව වර්තමානය වන විට යම් ප්‍රගතියක් දක්වලා තියෙනවා.” යැයි කොළඹ ඔරු පැදීමේ සංගමයේ සභාපති දිනේෂ් දෙහෙරගොඩ මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
“ අපේ ක්‍රීඩාවට කිසිම පුද්ගලයෙකුගෙන් බාධාවක් නැහැ. ඇත්තම කියනවා නම් කිසිදු දේශපාලන සම්බන්ධතාවයක් හෝ බලපෑමකින් තොරව අපි මේ ක්‍රීඩාව කර ගෙනයනවා” යැයි වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
මෙම තරගාවලියේදී යාර 1000ක මුළු දුර ප්‍රමාණයක් ආවරණය වන අයුරින් තරග පැවැත්වනු ලැබේ. ප්‍රවීනයන්ගේ තරගය යාර 546.7 ක දුර ප්‍රමාණයකින් යුක්ත වන අතර තරගාවලියේ සමස්ථ පිරිමි සහ කාන්තා ශූරතා දිනා ගන්නා කණ්ඩායම් සඳහා පිළිවෙළින් කීර්තිමත් ‘දීපාම් කුසලානය’ සහ ‘අද්යාර් කුසලානය’ පිරි නැමීමට කටයුතු යොදා ඇත.
මෙම මාධ්‍ය හමුව සඳහා කොළඹ ඔරු පැදීමේ සංගමයේ සභාපති දිනේෂ් දෙහෙරගොඩ, නායක රුවින් වීරසිංහ, උප සභාපති ප්‍රවීර් සමරසිංහ, මධුරාසි ඔරු සංගමයේ සභාපති ජේම්ස් ජෝශප් සහ ලේකම් නලීන් සමරවිකූම යන මහත්වරු සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.