Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බහමාස් ලෝක සහාය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

බහමාස් ලෝක සහාය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

editorial - 2024 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 24කට පසුව ඔලිම්පික් උළෙලකට ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමක් නිර්දේශ කරගැනීමේ අපේක්ෂාවෙන් ලබන මැයි 4-5 දෙදින බහමාස් හිදී පැවැත්වෙන ලෝක සහාය  දිවීමේ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් මීටර 4x400 (පිරිමි) සහාය දිවීමේ කණ්ඩායමක් සහභාගි කෙරේ.

ලෝක සහාය දිවීමේ ශූරතා තරගාවලියකට ශ්‍රී ලංකාව සහභාගි වන පළමු අවස්ථාව ලෙස එය කැපී පෙනේ. මීටර 400 (පිරිමි) ඉසව්වෙන් දැනට ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පහකට මෙම අවස්ථාව හිමිව තිබේ. ඒ අනුව කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, දිනූක දේශාන් හා රාජිත රාජකරුණා බහමාස් ලෝක ශූරතා තරග සංචාරයට නිර්දේශ කර තිබේ. 

මේ අතර බහමාස් ලෝක සහාය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ගත් උත්සාහය අත්හැර දැමීමට ශ්‍රී ලංකා මලලක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.

මීට හේතුව ආසියානු රන් පදක්කම්ලාභිනී තරුෂි දිල්සරා කරුණාරත්න මෙම තරග සංචාරයට සහභාගී නොවීමට ගෙන තිබෙන තීරණයයි. 

බහමාස් සහාය දිවීමේ ලෝක ශූරතා තරගාවලියට සහභාගිත්ව අයැදුම්පත් බාර ගැනීම මාර්තු 4 දා නිමාවට පත්ව තිබේ. බහමාස් තරගාවලියෙන් එළැඹෙන පැරිස් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට මීටර 4x400 (පිරිමි) ඉසව්වෙන් කණ්ඩායම් 14ක් නිර්දේශ කරගන්නා අතර, ඉතිරි කණ්ඩායම් දෙක නිර්දේශ කරගැනීම විවෘතව තබා ගැනේ.

වසර 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලෙන් පසුව ශ්‍රී ලංකාවට ඔලිම්පික් උළෙලක් සඳහා එතැන් සිට මේ දක්වා සහාය දිවීමේ කණ්ඩායමක් සහභාගි කිරීමේ අවස්ථාව උදා වී නැත. පැරිස් ඔලිම්පික් උළෙලට සහාය දිවීමේ ඉසව්වකින් නිර්දේශ කරගන්නා උපරිම කණ්ඩායම් ගණන 16කි.

බහමාස් ලෝක ශූරතා සහාය දිවීමේ තරගාවලියේදී ඉසව්වකින් කණ්ඩායම් 14ක් පැරිස් ඔලිම්පික් උළෙලට නිර්දේශ කරගැනීමේදී පළමුව හොඳම කණ්ඩායම් අට නිර්දේශ කෙරේ. අනතුරුව පරාජිතයන් අතර නැවත තේරීම් තරග වටයක් පවත්වා, එයින් ද ඉදිරියට පැමිණෙන කණ්ඩායම් හයක් නිර්දේශ කරගැනේ. මේ අතර, දියගමදී නිමාවට පත්වූ පළමු ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ ප්‍රතිඵලවලට අනුව ඩුබායි නුවරදී ලබන අප්‍රේල් 24 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන 21 වැනි ආසියානු කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කන්ඩායමක් සහභාගී කෙරේ. ඊට සහාය දිවීමේ ඉසව්ව ද ඇතුළත්ව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනකුගේ පමණ කණ්ඩායමක් නිර්දේශ කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදා වී තිබෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.

දියගමදී නිමාව දුටු පළමු තේරීම් තරගාවලියේ ප්‍රතිඵලවලට අනුව දැනට පවත්වාගෙන යන සුපිරි හා ජාතික මලල ක්‍රීඩා සංචිතයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංශෝධන ගණනාවක් සිදු විය හැකි බවත් ඔහු එහිදී පැවැසීය. දැනට සුපිරි සංචිතයේ කල් ගෙවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 19 දෙනකු වන අතර, එය එම ප්‍රතිඵලවලට අනුව වට ගණන අවම විය හැකි බව එහිදී පෙන්වා දෙයි.

දියගමදී පැවැති තේරීම් තරගාවලියට අනුව, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පදක්කම් දිනන  ප්‍රධානතම කේවල මලල ක්‍රීඩා ඉසව්වක් වන මීටර 400 (පිරිමි) ඉසව්වේ මේ දක්වා හොඳම ක්‍රීඩකයන් 10 දෙනා ප්‍රකාශයට පත්ව තිබේ.

එහි විශේෂත්වය, ඉන් හය දෙනකුම වයස 25ට අඩු ක්‍රීඩකයන් වීමත්, ඔවුන් සියලු දෙනා 2023 වසරේදී සහ මෙම වසරේ (2024) මේ දක්වා වාර්තා වී තිබීමත්ය. ඉන් දෙදෙනකු ඉකුත්දා පැවැති දියගම තගරවාලියේදී පළ කළ දස්කම් අනුව ඊට ඇතුළත්වූවන්ය.

 

මීටර 400 (පිරිමි) ඉසව්වේ මේ දක්වා ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රීඩකයන් 10 දෙනා අනුපිළිවෙළින්:
• සුගත් තිලකරත්න (ෆුකෝකා - 1998 - තත්පර 44.61)
• කාලිංග කුමාරගේ (කොළඹ – 2023 - තත්පර 45.07)
• රොහාන් ප්‍රදීප් කුමාර (කොළඹ – 2000 - තත්පර 45.25)
• අනුර දර්ශන කුමාර (කොළඹ – 2023 - තත්පර 45.45)
• ප්‍රසන්න අමරසේකර (කොළඹ – 2005 - තත්පර 45.47)
• රාජිත රාජකරුණා (කොළඹ – 2023 - තත්පර 45.98)
• පසිඳු කොඩිකාර (දියගම – 2024 - තත්පර 46.08)
• පබසර නිකූ (දියගම – 2023 - තත්පර 46.13)
• ඩබ්ලිව්. විමලදාස (ටෙහෙරාන් - 1974 - තත්පර 46.21)
• දිනුක දේශාන් (දියගම – 2024 - තත්පර 46.26)
(මූලාශ්‍රය: සමන් කුමාර ගුණවර්ධන)

 


අදහස් (0)

බහමාස් ලෝක සහාය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.