පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැති 13 වැනි බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව අද (01 වැනිදා) සමත් විය. අවසන් මහ තරගයේදී ලකුණු 4-2 ක් ලෙස සත්කාරක පාකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව එම ශූරතාවට හිමිකම් කීවේය.
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම නායකයා ලෙස අකලංක රණසිංහ කටයුතු කළ අතර සමීර රත්නායක එහි උප නායකත්වය දැරීය. ඉරේෂ් කෝසල, නිලංක කරුණාරත්න, සම්පත් රුවන් කුමාර, අසංක ලක්මාල්, ලසන්ත සංජීව, චරිත් හපුආරච්චි, සංජීව ජයරත්න, අරුණ ශාන්ත, සඳුන් මධුෂංක, තරිඳු මධුමාල්, සාලිය අනුරාධ, අවිෂ්ක ගුණසේකර, සුබාෂ් ගුණසිරි, නවීන් අනුරාධ, කෞෂල්‍ය ප්‍රබුද්ධ සහ අෂාන් වීරසේකර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සෙසු ක්‍රීඩකයෝ වූහ.
මිලිඳු හේවගේ මහතා ප්‍රධන පුහුණුකරු ලෙසද, දිනේෂ් පෙරේරා මහතා කලමණාකරු ලෙසද කණ්ඩායමට එක්ව සිටි අතර ජපන් ජාතික හිදෙකි කොයාමා සහ කසුයා යාගි යන මහත්වරු කණ්ඩායමේ සහයක පුහුණුකරුවන් ලෙස කටයුතු කළහ.
අවසන් පූර්ව වටයේදී ලකුණු 11-0 ක් ලෙස නේපාලය පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර පාකිස්තානය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ලකුණු 11-0 ක් ලෙස ඉරානය පරාජය කරමිනි.
ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, ඉරානය, ඉරාකය සහ නේපාලය යන රටවල් මෙම තරගාවලියට සහභාගි විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.