නාමල් පතිරගේ
කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී ඊයේ (17) පැවැති ජාතික ශූරතා මංචි කුසලාන වොලිබෝල් තරගමාලාවේ (2025) ආධුනික (බී) කාණ්ඩයේ (පිරිමි) අවසන් මහ තරගය පවත්වා අවසන් කළත් එහි ප්‍රතිපලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝගයක් හේතුවෙන් තාවකාලිකව අත් හිටුවනු ලැබීය.
මෙම අවසන් මහ තරගය රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය හා හලාවත ෆාහිම් ජෙම්ස් ක්‍රීඩා සමාජය අතර පෙරවරු 8.30 ට ආරම්භ විය.එහි ජයග්‍රාහකයා වූයේ වට 3 - 2 කට රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායමයි.
කෙසේ වූවත් මෙම අවසන් මහ තරගයට එරෙහිව පොතුපිටිය ලකී සික්ස් කණ්ඩායම ක්‍රීඩා ඇමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබූ විරෝධතාවක් සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තරග සංවිධායකන්ට දැනුම්දී තිබුණේ යොදා ගත් පරිදී ආධුනික (බී) කාණ්ඩයේ අවසන් මහ තරගය පවත්වා අවසන් කිරීමට බාධාවක් නැතත් එහි ප්‍රතිඵලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් හා ජය සංකේත - ත්‍යාග ප්‍රදානයෙන් තාවකාලිකව වැළකී සිටින ලෙසයි.
ආධුනික කාණ්ඩයේ (පිරිමි) අවසන් පූර්ව තරගය ෆාහිම් ජෙම්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ජය ගත් පොතුපිටිය ලකීසික්ස් කණ්ඩායමට ප්‍රතිවාදී කණ්ඩායම වෙතින් ඉදිරිපත් වූ විරෝධතාවක් විභාගයට ගැනීමෙන් පසුව ඔවුන්ට හිමිව තිබූ අවසන් මහ තරගයේ අවස්ථාව අහිමි විය.එම අවස්ථාව ඒ සමග ෆාහිම් ජෙම්ස් කණ්ඩායමට ප්‍රදානය විය.
ඒ සම්බන්ධයෙන් ලකී සික්ස් කණ්ඩායම ඊයේ (17) ආධුනික බී කාණ්ඩයේ අවසන් මහ තරගය වළක්වාලමින් ඉල්ලා තිබූ අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණයේ සලකා බැලුණි.
පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජයේ සභාපති චතුරංග ධර්මකීර්ති මහතා ලංකාදීපයට ඊයේ අදහස් දක්වමින් පැවසුවේ මතභේදයට තුඩු දුන් අවසන් මහ තරගය ඊයේ පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබූ බැවින් අධිකරණයේ උපදෙස් පරිදි එහි තරග ප්‍රතිඵලය අවලංගු කරන ලෙස ඉල්ලා මෙතැන් සිට සිය ක්‍රීඩා සමාජය නීතිමය ක්‍රියාමාර්ග වලට අවතීර්ණවීමට තීරණය කළ බවයි.
මේ අතර ආධුනික (කාන්තා) අවසන් මහ තරගයේ ජය වට 3 - 0 කට ඊයේ හිමි වූයේ කිරිදිවැල සංඝමිත්තා කණ්ඩායමටයි. එහිදී ලකුණු 27/25 - 25/23 - 25/20 කට මහව විජයබා කණ්ඩායම පරාජය කරමින් සංඝමිත්තා ක්‍රීඩිකාවෝ වසර 2025 මංචි කුසලාන ජාතික වොලිබෝල් තරග මාලාවේ ආධුනික කාන්තා ශූරතාව දිනා ගත්තේය.එහි දක්ෂතම ක්‍රීඩිකාවට සම්මාන හිමි වූයේ සංඝමිත්තා කණ්ඩායමේ අංජලිකා දුෂ්‍යාන්තිටය.
සුපර් ලීග් කාණ්ඩයේ ඊයේ පැවැති කාන්තා අවසන් මහ තරගයෙන් හයිඩ්‍රාමණී ඇගළුම් කණ්ඩායම ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව වට 3 - 1 පෙරළිකාර ජයක් ලැබීය.ඒ ලකුණු 23/25 -29/27 -25/21 -25/19 කටය.
එහිදී ගියවර ශූරියන් පරාජයට පත් කරමින් වෙෙළද සේවා කණ්ඩායමක් සුපර් ලීග් කාන්තා කුසලාන දිනා ගැනීම කැපී පෙනේ.එහි දක්ෂතම ක්‍රීඩිකාවට සම්මාන දිනා ගත්තේ හයිඩ්‍රාමණී කණ්ඩායමේ දිල්රුක්ෂි හර්ෂණීය.දික්ෂතා වෙනුවෙන් පිරිනැමෙන ශූරතා කුසලාන අටෙන් හයක්ම දිනා ගැනීමටත් එහිදී හයිඩ්‍රාමණී ක්‍රීඩිකාවෝ සමත් වූහ.
කෙසේවූවත් වතුපිටිවල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති සුපර් ලීග් කාණ්ඩයේ තෙවැනි ස්ථානය (පිරිමි) තේරීමේ තරගයට ලංකා විදුලි බල කණ්ඩායම වාර්තා නොකිරීමෙන් ප්‍රතිවාදින් වූ ගුවන් හමුදා කණ්ඩායමට නිතරග ජයක් ප්‍රදානය විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.