Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පානදුර රාජකීය - ශා. ජෝන් 25 වැනි ‘හරිත සටන’ 24 - 25

පානදුර රාජකීය - ශා. ජෝන් 25 වැනි ‘හරිත සටන’ 24 - 25

ශනුක අරවින්ද - 2017 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර රාජකීය විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර ‘මර්වින් ජේ. කුරේ’ අනුස්මරණ කුසලාන 25 වැනි ‘හරිත සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 24 සහ 25 දෙදින පානදුර නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 24 දී රාජකීය විදුහල තරග තුනක්ද, ශාන්ත ජෝන් විදුහල තරගයක් ද ජය ලබා තිබේ. අවසන් වරට රාජකීය විදුහල 2012 වසරේ චරිත් රුචිරංගගේ නායකත්වයෙන් ජය ලැබීය.

මෙම පාසල් දෙකෙන් ටෙස්ට් ක්‍රීඩකයන් රැසක් බිහිවී ඇති අතර රාජකීය විදුහල් ආදි ශිෂ්‍ය ලෝක කුසලාන තරගාවලි දෙකකට සහභාගී වූ ප්‍රවේගකාරී පිතිකරු චාමර සිල්වාට විශේෂ ස්ථානයක් හිමිවේ. 1996 ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජික වර්තාමන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරුවකු වන රවින්ද්‍ර පුෂ්පකුමාර සහ චරිත බුද්ධික, ශාන්ත ජෝන් විදුහලේ ආදි සිසුවෝ වෙති.

මෙවර රාජකීය විදුහල තරග 12 කට සහභාගීවී තරග 4 ක පූර්ණ ජය ලබා තිබේ. හොරණ තක්ෂිලා, කේරි විද්‍යාලය, මොරටු මහා විදුහල සහ මාරවිල ශාන්ත සේවියර් යන විදුහල්වලට එරෙහිව එම පූර්ණ ජයග්‍රහණ ලබා තිබේ.

ශාන්ත ජෝන් විදුහල මෙම තරග වාරයේදී තරග 12 කට සහභාගී වී තරග 4 ක් පූර්ණ ජයග්‍රහණ ලබා තිබේ. අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න, කැලණිය ධර්මාලෝක, හොරණ තක්ෂිලා සහ කෑගල්ල මහ විදුහලට එරෙහිව එම පූර්ණ ජයග්‍රහණ වාර්තා කර තිබේ.

මෙවර පානදුර රාජකීය විදුහල් පිලේ නායකයා ලෙස නිලාන් ප්‍රනාන්දු කටයුතු කරයි. නිලාන් මෙම තරග වාරයේ ශතක 2 ක් සහ අර්ධ ශතක 6 ක් සමගින් ලකුණු 823 ක් රැස් කිරීමට සමත්ව සිටියි.

තුන් ඉරියව් ක්‍රීඩක ඉෂාර සිල්වා ලකුණු 731 ක් රැස් කරමින් කඩුලු 29 ක් ද දවාගෙන තිබේ. ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිල නියෝජනය කරන ප්‍රෂාන් කල්හාර තරග 7 කදී ලකුණු 451 ක් රැස් කිරීම කැපී පෙනේ. ඊට අමතරව සචින් තාරුක (ලකුණු 420) සහ උප නායක මනුර විජේසූරිය (354) මෙම තරග වාරයේ පිත්තෙන් දස්කම් දක්වා තිබේ.

වමත් දඟපන්දු යවන ඉරාන් හංසමාල් කඩුලු 61 ක් දවා ගනිමින් රාජකීය විදුහල් පිලේ ප්‍රබලතම පන්දු යවන්නා බවට පත්ව සිටියි.

පානදුර ශාන්ත ජෝන් විදුහල් පිලේ නායකයා ලෙස නඳුන් අහංගම කටයුතු කරයි. නඳුන් මෙවර ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 603 ක් රැස්කර තිබේ. රුක්ෂාන් දිසානායක (ලකුණු 706), රසිදු ඉෂාන් (ලකුණු 562), සිතුම්  පීරිස් (ලකුණු 555), උපනායක කවිඳු හෂාන් (ලකුණු 483), මලිත් ගුණවර්ධන (ලකුණු 365) සහ තමිඳු වික්‍රමආරච්චි (ලකුණු 330) ශාන්ත ජෝන් විදුහල් පිලේ සෙසු ප්‍රබල පිතිකරුවෝ වෙති. තමිඳු වික්‍රමආරච්චි කඩුලු දවා ගනිමින් ප්‍රබලතම පන්දු යවන්නා බවට පත්ව සිටියි.

දෙවිදුහල් අතර ජී. සී. රොබට් අනුස්මරණ කුසලාන වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය මේ මස 26 වැනිදා පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

පානදුර රාජකීය විදුහල් කණ්ඩායම:

ඉදිරිපෙළ වමේ සිට:- ලසන්ත කුමාර මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), ඉෂාර ඩිල්ෂාන්, මනුර විජේසූරිය (උප නායක), ප්‍රියන්ත ප්‍රියලාල් මහතා (නියෝජ්‍ය විදුහල්පති), නිලාන් ප්‍රනාන්දු (නායක), සචින් තාරුක, කපිතාන් විමලජීව මහින්දරත්න මහතා (ක්‍රීඩා පරිපාලක) සහ තිලිණ සිල්වා මහතා (පුහුණුකරු).

පසුපෙළ වමේ සිට:- එරාන් හංසමාල්, කාවින්ද ඩිල්ෂාන්, දුලන්ත කවිදු, තරිඳු ප්‍රභාතිය, දුමිඳු මදුසංඛ, මලිදු අෂේන්, ඉමල්ක ජයකොඩි, චමල් සංදීප, සචින් අමින්ද, යුවන් විදුරංග, ප්‍රසන්න පුෂ්පකුමාර, නිපුන් අල්විස්, දුෂාන් මාලිංග සහ ප්‍රෂාන් කල්හාර

 

පානදුර ශාන්ත ජෝන් විදුහල් කණ්ඩායම:

ඉදිරිපෙළ වමේ සිට:- ජී. රණසිංහ මහතා (පුහුණුකරු), උපුල් ගුණතිලක මහතා (ප්‍රධාන කණ්ඩායම් භාර ආචාර්ය), රසිඳු ඉෂාත්, තනුජ අකලංක, නඳුන් අහංගම (නායක), හර්ෂණ පීරිස් මහතා (විදුහල්පති), කවිඳු හෂාන් (උප නායක), සිතුම් ප්‍රමෝද, මලිත් ගුණවර්ධන, අජිත් අබේසිංහ මහතා (කනිෂ්ඨ කණ්ඩායම් භාර ආචාර්ය) සහ විකුම් ජයසිංහ මහතා (සහය පුහුණුකරු).

පසුපෙළ වමේ සිට:- සචින් ධනංජය, රුක්ෂාන් දිසානායක, ගිහාන් අංජන, ප්‍රවීන් සඳමාල්, සසිත මනුප්‍රිය, තමිඳු නිවර්ථන, අෂාන් දිල්හාර, දිල්ෂාන් ප්‍රසන්න, ප්‍රමෝද් සඳරුවන් සහ රිශාන් මලිත්
(ඡායාරූප:- පානදුර සමන් කාරියවසම්)

 

 


අදහස් (0)

පානදුර රාජකීය - ශා. ජෝන් 25 වැනි ‘හරිත සටන’ 24 - 25

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.