Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පතුලටම වැටුණු ශ්‍රී ලංකාවට තර්ජනීගේ අඩුව දැනෙයි

පතුලටම වැටුණු ශ්‍රී ලංකාවට තර්ජනීගේ අඩුව දැනෙයි

editorial - 2023 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සිංගප්පූරුවේදී නිමාවට පත්වූ සය කොන් දැල්පන්දු තරගාවලියේදී සිංගප්පූරු ‘ඒ’ කණ්ඩායමට ලකුණු 55-48කින් පරාජය වීමෙන්, ශ්‍රී ලංකාව එහි අවසන් (හය වැනි) ස්ථානයට පත් විය.

පස් වැනි ස්ථානය තේරීම සඳහා පැවැති මෙම තරගයේ වට හතර නිමා වූයේ, ලකුණු 9/15 – 13/15 – 13/11 - 13/14ක් පරිදි, වට තුනකදීම ශ්‍රී ලංකාව පසුබෑමට ලක්වීමෙනි. ඒ අනුව, ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී සහභාගි වූ තරග හයෙන් පහක්ම පරාජයට පත්ව තිබේ. මූලික වටයේදී කුක් දූපත් සමග තරගය පමණක් එහිදී ශ්‍රී ලංකාවට (63/52) ජයගත හැකි විය.

වත්මන් ආසියානු දැල්පන්දු ශූරියන් බවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ දැඩි පසුබෑම මෙම තරගාවලියේදී කැපී පෙනුණේ, සිංගප්පූරුව ‘ඒ’ කණ්ඩායමට හා එහි ජාතික කණ්ඩායමට තෙවතාවක්ම පරාජයට පත්වීම තුළිනි.

සිකුරාදා (27 වැනිදා) පැවැති තරගයේදී ශ්‍රී ලංකාව සිංගප්පූරු ජාතික කණ්ඩායමට පරාජය වූයේ ලකුණු 65/54කිනි. පසුගිය අගෝස්තු මාසයේ දකුණු අප්‍රිකාවේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකාව සිංගප්පූරුවට දෙවතාවක්ම (46/49 - 52/55) පරාජයට පත්ව තිබේ.

වසර 2022 සැප්තැම්බර් 11 වැනිදා ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු කුසලාන දිනාගත්තේ, එදින පැවැති අවසන් මහා තරගයේදී ලකුණු 63/53කට සිංගප්පූරුව පරාජය කරමිනි. එහිදී මූලික වටයේදීත් ශ්‍රී ලංකාව විසින් සිංගප්පූරුව පරාජය කළේ ලකුණු 67/49කටය.

කෙසේ වුවත්, මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පන්දු විදින්නිය ලෙස තීරණාත්මක දායකත්වයක් ලබාදුන්, ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙසත් සැලකූ, 44 හැවිරිදි තර්ජනී ෂිවලිංගම්ගේ තරග සමු ගැනීම මෙම ප්‍රතිඵලයන් තුළින් පෙන්නුම් කරන්නේ දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවයි.

ඉහත සිංගප්පූරු තරග සංචාරයේදී පුහුණුකරු හා කණ්ඩායම් නායකත්වයේ වෙනසක් සිදු කෙරුණි. ඒ අනුව, පී.ඩී.එන්. ප්‍රසාදි මහත්මිය ප්‍රධාන පුහුණුකාරිනිය ලෙසත්, දුලංගි වන්නිනායක කණ්ඩායම් නායිකාව ලෙසත් කටයුතු කළහ.

මෙම සයකොන් තරගාවලියේ ශූරතාව සත්කාරක සිංගප්පූරුව දිනා ගත්තේ, අවසන් මහා තරගයේදී ලකුණු 59/56 කට පැපුවා නිව්ගිනියාව පරාජය කරමිනි. තෙවැනි ස්ථානය දිනා ගත්තේ, කුක් දූපත් විසින් කැනඩාව පරාජය කිරීමෙනි.


අදහස් (0)

පතුලටම වැටුණු ශ්‍රී ලංකාවට තර්ජනීගේ අඩුව දැනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.