Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලුක පදනමේ පළමු ප්‍රදානය යුපුන්ට

නිලුක පදනමේ පළමු ප්‍රදානය යුපුන්ට

editorial - 2024 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලාංකික හිටපු සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න මහතා අභිනවයෙන් ස්ථාපිත කළ OLY නිලුක කරුණාරත්න පදනම සිය පළමු කටයුත්ත ලෙස ශ්‍රී ලංකා සුපිරි මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් වෙත පළමු ප්‍රදානය පිළිගැන්වීම කොළඹ ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි.

ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයේදී නිලුක කරුණාරත්න පදනම ප්‍රකාශයට පත් කිරීම නිලුක කරුණාරත්න මහතා විසින් සිදු කරනු ලැබීය.

මීට සමගාමීව එහිදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී නිලුක කරුණාරත්න මහතා පැවැසුවේ, 2023 ඔක්තෝබර් 1 වැනිදා තමන් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා බව මීට පෙර අවස්ථාවකදී ප්‍රකාශ කළ අතර, එය මෙම මාධ්‍ය හමුවේදී (2024 මාර්තු 7) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.

මෙරටින් බිහි වූ විශිෂ්ටතම බැඩ්මින්ටන් ක්‍රීඩකයකු ලෙස සැලකෙන, මේ වන විට 39 හැවිරිදි වියේ පසු වන නිලුක, කොළඹ රාජකීය විදුහලේ ඉගෙනුම ලබන අතර 16 හැවිරිදි වියේදීම ජාතික බැඩ්මින්ටන් (කේවල – පිරිමි) ශූරතාව දිනා ගනිමින් එම දස්කම එතෙක් සිදු කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්විය.

වයස 8 දීම අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ඉගෙනුම ලබන අවධියේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට පිවිසි අතර, පසුගිය බ්‍රහස්පතින්දා (7) ඔහු ක්‍රීඩාවෙන් සමු ගැනීම හැඟුම්බරව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට වසර 22ක් තරම් වන කාලය තුළදී ජාත්‍යන්තර පදක්කම් 34ක් හා මහද්වීප පදක්කම් පහක් දිනා තිබේ. ඊට රන් පදක්කම් නවයක් ඇතුළත්ය.

ඔහුගේ විශිෂ්ටතම දක්‍ෂතා අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙල තුනකට සහභාගි වීම, ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩකයකු ඉහළම ස්ථානයකට (34 වැනි ස්ථානය) පත්වීම, ආසියානු ක්‍රීඩා උළෙල හයකට සහභාගි වීම මෙන්ම වසර 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා සමස්ත කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කිරීමත් විශේෂයෙන් සඳහන් කළ හැකිය.

ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩකයන්ගේ අනු කමිටුවේ සභාපති ධුරය හොබවන ඔහු ඉතා මෑතකදී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩකයන්ගේ අනු කමිටුවේ සාමාජිකයකු වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා ඔහු නිර්දේශ වීම තීරණය වන්නේ 2024 ජුලි - අගෝස්තු කාලසීමාවේදී පැරිස් නුවරදී පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේදීය.

මාධ්‍ය හමුවේදී ඔහු පැවැසුවේ, සිය පදනම තුළින් ඉදිරියේදී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රතිලාභ හා අනුග්‍රාහකත්වයන් ලබාදීමට කටයුතු කරන බවයි. ඒ සඳහා මෙරටින් බිහි වූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයකුට ප්‍රදානයක් කිරීම තුළින් මුල පිරීම ආරම්භ කිරීමට හැකි වීම සතුටට කරුණක් බවත් ඔහු පැවැසීය.

නිලුකගේ සොහොයුරන් වන දිනුක, දිලුක හා චාමික ද ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩකයන් ලෙස දක්‍ෂතා දැක්වූවන් වන අතර, ඉන් චාමික මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස දක්‍ෂතා දක්වයි.

නිලුක කරුණාරත්නගේ වෘත්තීය දිවිය ඇතුළත් වාර්තා චිත්‍රපටයක් ද මෙම උත්සවයේදී ප්‍රදර්ශනය කෙරුණි.

නිලුකගේ පෞද්ගලික පුහුණුකරු ලෙස ඔහුගේ පියා වන ලුවී කරුණාරත්න මහතා දිගටම කටයුතු කළ අතර, ඔහු 2022 ක්‍රීඩාවෙන් සමු ගන්නා විට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු පසු වූයේ 164 වැනි ස්ථානයේය.


අදහස් (0)

නිලුක පදනමේ පළමු ප්‍රදානය යුපුන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.