Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නදීෂාට පරාජය වූ පරීඩාට තහනම් උත්තේජක චෝදනා

නදීෂාට පරාජය වූ පරීඩාට තහනම් උත්තේජක චෝදනා

editorial - 2024 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තායිලන්තයේ ‘බැංකොක්’ නුවරදී පැවැති 2023 ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව රන් පදක්කම දිනාගත් මීටර 400 (කාන්තා) ඉසව්වේ නිල තරග ප්‍රතිඵලය සංශෝධනය වී තිබේ.

එහිදී රන් පදක්කම තත්පර 52.61කට දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායකගේ ප්‍රතිඵලයට නව ප්‍රතිඵල සංශෝධනය තුළින් බලපෑමක් නැත.

මෙම අලුත්ම තත්වයට හේතු වී ඇත්තේ, මෙහි රිදී පදක්කම තත්පර 52.95කට හිමි කරගත් උස්බෙකිස්තානු ක්‍රීඩිකා ෆරිඩා සොලියේවා තහනම් උත්තේජක ශරීරගත කරගනිමින් මෙම තරගාවලියට සහභාගි වී ඇති බවට තහනම් උත්තේජක පරීක්‍ෂාවෙන් තහවුරු වීමයි.

එම තත්වය තුළ ඇයට ඉසව්වේ ලබාගත් රිදී පදක්කම අහිමි වන අතර, එය නිල වශයෙන් සනාථ වීමෙන් පසු එම රිදී පදක්කම තෙවැනි ස්ථානය අත්කරගෙන තිබූ අයිෂ්වර්යා මිෂ්රාට ප්‍රදානය වනු ඇත. මිෂ්රා ලෝකඩ පදක්කම හිමි කරගත්තේ තත්පර 53.07කටය.

ඒ අනුව, ඉසව්වේ සිව් වැනි ස්ථානය අත්කරගෙන තිබූ ජපන් ක්‍රීඩිකා හරුනා කුබෝයාමාට තෙවැනි ස්ථානයට හිමි ලෝකඩ පදක්කම ප්‍රදානය වීමෙන් ඇය 2023 ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පදක්කම්ලාභිනියක් බවට අලුතින් පත්වනු ඇත.

කුබෝයාමා තත්පර 53.80කට මීටර 400 (කාන්තා) ඉසව්වේ නිල ප්‍රතිඵලයට අනුව සිව් වැනි ස්ථානයට පත්ව තිබුණි.

තහනම් උත්තේජක චෝදනාලාභී උස්බෙකිස්තානු හිටපු රිදී පදක්කම්ලාභී ක්‍රීඩිකා සොලිසේබා රිදී පදක්කම දිනා ගැනීමේදී එතෙක් ඇය ඉසව්වේ පළ කළ හොඳම දක්‍ෂතාව ප්‍රදර්ශනය කිරීමට ද සමත් වූවාය.

රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක ඉසව්ව ජය ගත්තේ ද එතෙක් ඇගේ හොඳම මෙම ඉසව්වේ දක්‍ෂතාව ප්‍රදර්ශනය කරමිනි.

මෙම ඉසව්වට සහභාගි වූ සමස්ත ක්‍රීඩිකාවන් ගණන 17 දෙනෙකි. මූලික තරගයේදී තත්පර 53.06ක දක්‍ෂතාවක් පළ කරමින් නදීෂා රාමනායක මෙහි අවසන් තරගයට නිර්දේශ ලබා ගත්තාය.

එහිදී චෝදනාලාභී උස්බෙකිස්තානයේ සොලියේවා අවසන් තරගයට නිර්දේශ ලබා ගත්තේ තත්පර 53.49ක දක්‍ෂතාවක් පළ කරමිනි.

2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය 2023 ජුලි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා රටවල් 40ක සහභාගිත්වයෙන් බැංකොක් නුවරදී පැවැත්වුණි.

මෙම තරගාවලියේදී සුවිශේෂී දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකාව රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් වූයේ, තරගාවලියේ සිව් වැනි ස්ථානයට පත්වෙමිනි.

ජපානය රන් පදක්කම් 16ක් දිනා එහි පළමු තැන ලැබීය.

චෝදනාලාභී ක්‍රීඩිකාව ඇතුළත් උස්බෙකිස්තානය කසකස්තානය හා සම අට වැනි ස්ථානය එහිදී ලබා ගත්තේ, එක් රන් පදක්කමක්,  රිදී පදක්කම් 02ක් හා එක් ලෝකඩ පදක්කමක් බැගින් දිනා ගැනීමෙනි. එහෙත්, සොලියේවාට රිදී පදක්කම අහිමි වීම තුළ උස්බෙකිස්තානයට තරගාවලියේ 10 වැනි ස්ථානය දක්වා පහළට බැසීමට සිදු වනු ඇත.

ඉන්දියාවේ රිදී පදක්කම් ගණන එහිදී 13ක් දක්වා ඉහළ යන අතර, ජපානයේ ලෝකඩ පදක්කම් එකතුවත් 11කට ඉහළ යයි.


අදහස් (0)

නදීෂාට පරාජය වූ පරීඩාට තහනම් උත්තේජක චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.