Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේශපාලකයන්ට ක්‍රීඩා සංගම් තහනම්

දේශපාලකයන්ට ක්‍රීඩා සංගම් තහනම්

editorial - 2024 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ප්‍රාදේශීය  මට්ටමේ දේශපාලකයකුටවත් අඩු තරමින්  ප්‍රාදේශීය  ක්‍රීඩා  සංගමයකවත් කිසිදු තනතුරක් දැරිය නොහැකි  වන පරිදි නව ක්‍රීඩා  රෙගුලාසි  පැනවූ අති විශේෂ  ගැසට් නිවේදනයක් ක්‍රීඩා  ඇමැති හරීන් ප්‍රනාන්දු  මහතා  විසින් අද (6) නිකුත් කිරීමට  නියමිතව ඇත.

මෙහි අරමුණ  මෙරට ක්‍රීඩා  ක්ෂේත්‍රයෙන් මුළුමණින්ම දේශපාලනයෙන්  බැහැර කිරීම බව සිකුරාදා (4)  පැවැති  මාධ්‍ය  හමුවකදී  ක්‍රීඩා  ඇමැති   හරීන් ප්‍රනාන්දු   මහතා  පැවැසීය.

"මේ ගැසට්  එකේ අලුත්  රෙගුලාසි  ගණනාවක්ම දැක්වෙනවා.දේශපාලකයන්ට විතරක්  නොවේ. ජාතික  ක්‍රීඩා  සංගම්  ප්‍රධානීන්ටත් මීට පස්සේ  ඕන ඕන විදියට මේ රෙගුලාසි නිසා නටන්න   ලැබෙන්නේ නෑ."එහිදී ඇමැතිවරයා  වැඩිදුරටත්  පැවැසීය.

ක්‍රීඩා  ඇමැතිවරයාගේ නව ගැසට්  නිවේදනයට අනුව අඩු තරමින්  ප්‍රාදේශීය  සභා මන්ත්‍රීවරයකුට වත් මින් ඉදිරියට  ජාතික  ක්‍රීඩා  සංගමයක කෙසේ  වෙතත් ප්‍රාදේශීය  ක්‍රීඩා  සංගමයක සංවිධානයක හෝ ක්‍රීඩා  සමාජයක වත් නිලතල  දැරීම තහනම්  වනු ඇත.

මේ පිළිබඳව  ක්‍රීඩා  අමාත්‍යාංශය  සිකුරාදා  නිවේදනය  කළේ ශ්‍රී  ල‍‍ංකාවේ  ක්‍රීඩාව  දේශපාලනීයකරණයෙන්  ඉවත් කිරිමේ පියවරක් ලෙස ක්‍රීඩා  ඇමැති  හරීන් ප්‍රනාන්දු  මහතා  විසින්  2024 අංක  1 දරණ සුවිශේෂී  රෙගුලාසි  මාලාවකට සිකුරාදා (3) ක්‍රීඩා  අමාත්‍යාංශයේදී  අත්සන් තබන  ලද බවයි.

එය 1973 අංක 25 දරන ක්‍රීඩා  පනතට අනුකූළව ක්‍රීඩා  අධ්‍යක්ෂ  ජනරාල්  යටතේ  ලියාපදිංචි  ජාතික  ක්‍රීඩා  සංගම් 73 අවශ්‍යතාව පරිදි  සකස්  කර ඇති අතර  අවශ්‍ය විටෙක  ඔහුට  තීරණ ගැනීමේ බලතළද ඉන් ලබා දී තිබෙන  බව එම නිවේදනයේ වැඩිදුරටත්  දක්වා ඇත.

මෙම  ගැසට්  නිවේදනයට අනුව ජාතික  ක්‍රීඩා  සංගම්  සම්බන්ධයෙන්  තීරණ තීන්දු  ගැනීමේදී  ක්‍රීඩා  අධ්‍යක්ෂ  ජජනරාල්වරයාට  පුළුල් බලතල  ලබාදී ඇතැයිද  වාර්තාවේ.

කේසේවූවත් හිටපු  ක්‍රීඩා  ඇමැති රොෂාන් රණසිංහ  මහතා විසින්  1973 අංක  25 දරන ක්‍රීඩා  පනතේ 31 වැනි වගන්තිය  සමග කියවිය යුතු 41 වැනි  වගන්තිය  යටතේ වසර 2022 දෙසැම්බර්  මාසයේදී  හදුන්වා  දුන් නියෝග අංක  (5) ( i ) වගන්තිය  මෙම  නියමයන්  යටතේ  අහෝසි වේ.

එහි මෙසේ  දක්වා තිබුණි."අමාත්‍යවරයාගේ ලිඛිත  අනුමැතිය  යටතේ  සමාජයට, ක්‍රීඩාවට  සුවිශේෂී  සේවයක් කළ හා රජයට සුවිශේෂී  ආදායම් බදු ගෙවන පුද්ගලයකු ජාතික  ක්‍රීඩා  සංගමයක, සම්මේලනයක  නිලයක්  දැරීම සුදුසු  වන්නේය."

වත්මන් ක්‍රීඩා  ඇමැතිවරයා  මේ ආකාරයට හිටපු  ක්‍රීඩා ඇමැතිවරයා විසින් සිය  ධූරයේ සිටියදී නිකුත්  කර තිබූ ගැසට් නිවේදන කීපයක්ම අහෝසි කර තිබේ.ඉන් වැඩි ගණනාවක්ම  ශ්‍රී  ල‍‍ංකා ක්‍රිකට්  ආයතනය  සම්බන්ධයෙන්  නිකුත් කර තිබූ ඒවාය.


අදහස් (0)

දේශපාලකයන්ට ක්‍රීඩා සංගම් තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.