Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුරපැනීමේ ක්‍රීඩිකා සාරංගි ලෙඩවෙයි

දුරපැනීමේ ක්‍රීඩිකා සාරංගි ලෙඩවෙයි

editorial - 2023 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

තායිලන්තයේ ‘පත්තයා’ නුවරදී දැන් පැවැත්වෙන 24 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි ලක්ෂාණි සිල්වාගේ දක්ෂතා මීටර 5.97කට සීමාවිය. අද (14) තරග වැදුණු සාරංගි සිය ඉසව්වේ දෙවැනි උත්සාහයේදී එම දුර වාර්තා කළ අතර එහිදී උත්සාහයන් දෙකකින් පසුව රෝගාතුර වූ ඇය ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙන ගිය බව වාර්තා විය.

26 හැවිරිදි සාරංගිගේ දුර පැනීමේ මෙතෙක් ඉහළම දක්ෂතාව මීටර 6.65කි. ජපන් ක්‍රීඩිකා සුමිරේ හාටා මීටර 6.97කට මෙහි රන් පදක්කම අද දිනා ගැනීමට සමත් වූවාය.

මේ අතර ශ්‍රී ලංකාව පදක්කමක අපේක්ෂා රඳවා ගෙන සිටි මීටර 400 (පිරිමි) ඉසව්වේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනාම ඊයේ (13) අවසන් ස්ථානවලට පත්වෙමින් පරාජයට පත්වූහ.

එහිදී අනුර දර්ශන තත්පර 45.69 කට හත්වැනි ස්ථානයත්, රාජිත නෙරංජන් රාජකරුණා තත්පර 46.60කට අට වැනි ස්ථානයටත් පත්වූහ.

තරගාවලිය තවදුරටත් පැවැත්වෙන අතර හෙට සහ අනිද්දා (15-16) දිනයේදී ශ්‍රී ලංකාව මීටර 800 (කාන්තා), මීටර 4x400 (පිරිමි) හා එහි කාන්තා හා මීටර 4x400 මිශ්‍ර සහය දිවීම යන ඉසව්වලින් පදක්කම් අපේක්ෂා දල්වා සිටියි.
තරගාවලියේ අද තෙවැනි දිනය නිමාවේදී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා පදක්කම් සටහනේ ඒ වනවිට 6 වැනි ස්ථානයට පත්ව සිටියේය.

ජපානය ඒ වනවිට පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේ රන් පදක්කම් හතක් ඇතුළුව රිදී හා ලෝකඩ මුළු පදක්කම් 18 ක් දිනා ගනිමිනි. අද දිනය නිමා වන විට රන් පදක්කම් දිනා තිබූ රටවල් ගණන හයකට පමණක් සීමා වී තිබුණි.

තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 13 දෙනා අතරින් තුන් පිම්ම ක්‍රීඩිකා රන්දි හිමාෂා කුරේගේ දක්ෂතා මීටර 13.17 කට සීමාවීමෙන් ඇය ඉසව්වේ හය වැනි ස්ථානය ලැබුවාය. එහි රන් පදක්කම දිනා ගත් ජපන් ක්‍රීඩිකා මාරිකෝ ටොරිමෝටෝගේ තුන් පිම්මේ දක්ෂතාවය මීටර 14.06ක අගයක් ගත්තාය.

 ගයන්තිකා අබේරත්න (මීටර 1500) හා දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසිකිරීම) ශ්‍රී ලංකාවට මේ වනවිට ලෝකඩ පදක්කම් දෙක  හිමිකර දුන් ක්‍රීඩිකාවෝ වෙති.


අදහස් (0)

දුරපැනීමේ ක්‍රීඩිකා සාරංගි ලෙඩවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.