Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුන්නෙන් විදීමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් කොරියාවේදී අතුරුදන්

දුන්නෙන් විදීමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් කොරියාවේදී අතුරුදන්

editorial - 2023 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

විශේෂඥ පුහුණුවක් හැදෑරීම සඳහා දකුණු කොරියාව බලා ගිය ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ ක්‍රීඩකයන් දෙදෙනකු පුහුණුවට සහභාගී නොවෙමින් එරට දී අතුරුදන්වීම පිළිබඳව ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ සංගමය ක්‍රීඩා අමාත්‍යංශය දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

දකුණු කොරියාවේ ‘‘වෝජු’’ නගරයේ පැවැති දුන්නෙන් විදීමේ පස්දින විශේෂඥ පුහුණු වැඩමුළුවකට සහභාගීවීම සඳහා ක්‍රීඩකයන් පස් දෙනෙකු හා එක් පුහුණුකරුවකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් සෝල් නුවරට ළඟාවීමෙන් පසුව මෙලෙස අතුරුදන්වී ඇතැයි වාර්තා වන්නේ යුද හමුදාවේ හා නාවික හමුදාවේ සේවය කරන්නන් බව කියන ක්‍රීඩකයන් දෙදෙනෙකි.

වැඩමුළුවට සහභාගීවීම සඳහා එරට ගුවන් තොටුපොළට පැමිණීමෙන් පසුව පුහුණු මධ්‍යස්ථානයට පිටත්වීම සඳහා බස් රථයකට ගොඩවීමෙන් පසුව මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනා අතුරුදන්ව ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.
කෙසේ වුවත් මේ හේතුවෙන් ඔවුන් නොමැතිව සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම විශේෂඥ වැඩමුළුවට සහභාගීවී තිබේ. දුන්නෙන් විදීමේ ජාතික සංචිතයේ ඉහළින්ම පසුවන ක්‍රීඩකයන් පස් දෙනෙකු ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියෙන් මෙම දකුණු කොරියානු නේවාසික පුහුණු වැඩමුළුව සඳහා නිර්දේශ කර ගැනීමට ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ සංගමය කටයුතු කර තිබේ.

ශ්‍රී ලාංකික දුන්නෙන් විදීමේ ක්‍රීඩකයන් දෙදෙනා දකුණු කොරියාවේදී අතුරුදන්වීම පිළිබඳව ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ සංගමයේ ප්‍රධානීන් මේවනවිට පිළිගෙන තිබේ. ඒ පිළිබඳව ඔවුන් මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංය දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

ඉතා මෑතක සිට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වෙමින් සිටින අතර විදේශ රටවලදී අතුරුදන්වීම් ඉහළ ප්‍රවනතාවයක් ගෙන තිබේ.

අවසන් වරට පසුගිය මැයි මාසයේ ප්‍රංශයේ දී පැවැති ලෝක ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව්දෙනකු ක්‍රීඩිකාවන් දෙදෙනකු හා එක් පුහුණුකරුවකු ඇතුළුව හත් දෙනෙක් එරට දී අතුරුදන් වූහ.

ඒ අතර වසර 2022 නොවැම්බර් මාසයේ දකුණු කොරියාවේ දී පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා (කාන්තා) කණ්ඩායමේ නායිකාව ද තරගාවලිය නිමවීමත් සමග එරට දී අතුරුදන් වූවාය.

මෙම ප්‍රශ්නයේ දී අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයක් දිනා ගත්තේ 2022 අගෝස්තු 8 වැනිදා එංගලන්තයේ ‘‘බර්මින්හැම්’’ නුවරදී නිමාවට පත්වූ 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් සිටිය දී ශ්‍රී ලංකාවෙන් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 12 දෙනෙකු පමණ එරට දී විටින් විට අතුරුදන්වීමයි.

එම පිරිසට ජූඩෝ, මල්ලවපොර, බොක්සිං, වෙරළ වොලිබෝල්, මලල ක්‍රීඩා, රග්බි යන ක්‍රීඩා ඉසව් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරෙන්නට පුහුණුකරුවන් හා කළමනාකරුවන් වන නිලධාරීහුද ඇතුළත් වූහ.

මේ අතර වසර 2022 ඔක්තෝබර් මාසයේදී ස්පාඤ්ඤයේදී පැවැති ලෝක ශූරතා මල්ලවපොර (වයස 23න් පහළ) තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙක් එරටදී අතුරුදන් වූහ.  ඒ අතරම 2021 ඔස්ලෝ ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියේදී සංචාරක ශ්‍රී ලංකා කණඩායමේ කලමනාකරු නෝර්වේදී අතුරුදන් විය.

ඔහු මේ වනවිට සිය පවුලේ උදවියත් සමග එරට රැඳීසිටින බවද වාර්තා විය.


අදහස් (0)

දුන්නෙන් විදීමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් කොරියාවේදී අතුරුදන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.