Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිනේෂ් ප්‍රියන්තගේ ලෝක වාර්තාව ඉන්දියාව උදුරාගනී

දිනේෂ් ප්‍රියන්තගේ ලෝක වාර්තාව ඉන්දියාව උදුරාගනී

editorial - 2023 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ ‘හංජෝ’ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී අපේක්ෂා කළ පදක්කම ඊයේ (25) අනපේක්ෂිත ලෙස බිඳ වැටුණි. හංජෝ නුවරදී දැන් පැවැත්වෙන සිව් වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ඊයේ හෙල්ල විසි කිරීම (පිරිමි එක් අතක් අප්‍රාණික හෝ අහිමි තත්ත්වය) ඉසව්වට සහභාගි වූ මෙම ඉසව්වේ ලෝක වාර්තාලාභියා ද වන දිනේෂ් ප්‍රියන්තගේ දක්ෂතා ඊයේ මීටර 62.83කට සීමාවීමෙන් ඔහුට ඉසව්වේ හිමිවූයේ සිව් වැනි ස්ථානයයි.

මෙම ඉසව්වේ මෙවර ආසියානු පැරා රන්, රිදී හා ලෝකඩ පදක්කම් තුනම ඉන්දියානුවන් විසින් දිනාගැනීම කැපී පෙනුණි.

එහිදී ඉන්දීය ක්‍රීඩක සුන්දර් සිංග් මීටර් 68.60කට ඊයේ දැක්වූ අතිවිශිෂ්ට දක්ෂතාව මෙතෙක් ඉසව්වේ ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත සතුව තිබූ ලෝක වාර්තාව ආසියානු වාර්තාව හා තරග වාර්තාව මුළුමනින්ම ඔහු සතු කර ගැනීමක් බවට පත්විය.

2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ දී මීටර 67.79කට මෙහි ලෝක වාර්තාව පිහිටුවමින් රන් පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත එදා එම දස්කම හමුවේ මුළු ලෝකයේම අවධානය දිනාගත්තේය.

දිනේෂ් ප්‍රියන්ත මෙවර ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා සමස්ත කණ්ඩායමේ නායකයා ලෙස සහභාගි වන විට 37 හැවිරිදි වියේ පසුවේ. මේ දක්වා ඔහු පැරාලිම්පික් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක්ද ලෝක ශූරතා රිදී පදක්කම් දෙකක් හා එක් ලෝකඩ පදක්කමක්ද ආසියානු පැරා ක්‍රීඩා එක් රන් පදක්කමක්ද දිනාගැනීමට සමත්ව තිබේ.

අවසන් වරට පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙලක දී (2018- ජකර්තා) ඔහු මීටර 61.84කට රන් පදක්කම දිනාගැනීමට සමත්ව තිබේ. යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කරමින් සිටියදී සිවිල් යුද සමයේ දී වෙඩි වැදීමෙන් ඔහුගේ එක් අතක් අප්‍රාණික බවට පත්වීමෙන් පසුව ඇතිවූ තත්ත්වයන් මත ඔහු ආබාධිතයන් හා විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා හඳුන්වාදී තිබෙන පැරා ක්‍රීඩා තරග බිමට පිවිසියේය.

කෙසේ වුවත් හංජෝ ආසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පරිවාර නිලධාරීන් 43 දෙනකුගේ කණ්ඩායමක් සහභාගි කර සිටින ශ්‍රී ලංකාව ඊයේ සිය තරග වැදීම අවසන් කරන විට රන් පදක්කම්, රිදී පදක්කම් හා ලෝකඩ පදක්කම් දෙකක් බැගින් මුළු පදක්කම් හයක් දිනා ක්‍රීඩා උළෙලේ 13 වැනි ස්ථානයට පත්ව තිබුණි.

මේ දක්වා ශ්‍රී ලංකාව ආසියානු පැරා ක්‍රීඩා ඉතිහාසයේ දිනා ඇති රන් පදක්කම් ගණන හතකි. රිදී පදක්කම් හා ලෝකඩ පදක්කම් 18ක්ද හිමිකරගෙන තිබේ. අවසන් වරට පැවැති 2018 ජකර්තා ක්‍රීඩා උළෙලේ දී රන් රිදී හා ලෝකඩ පදක්කම් පහක් බැගින් (15) ශ්‍රී ලංකාව දිනා ඇත

හංජෝ සිවුවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ඊයේ වන විට දිනාගත් පදක්කම්

රන් පදක්කම්
•මීටර 100 – (පිරිමි එක් අතක් අප්‍රාණික හෝ අහිමි ටී. 44) නුවන් ඉන්දික ගමගේ (තත්පර 11.63 නව වාර්තාවකි)
•මීටර 1500 (පිරිමි - එක් අතක් ආබාධ හෝ අහිමි ටී 46) ප්‍රදීප් සෝමසිරි (විනාඩි 4 තත්පර 05.14කට වාර්තාවක්)

රිදී පදක්කම්ලාභීන්
•හෙල්ල විසි කිරීම (පිරිමි - පාදයක් දණහිසට ඉහළින් අහිමි හෝ අප්‍රාණික –ටී 64)
සමිත දුලාන් කොඩිතුවක්කු (මීටර 63.95)තරග වාර්තාවකි

•දුර පැනීම (කාන්තා - අතක් ආබාධ හෝ අහිමි කාණ්ඩය ටී - 47)
ජයනි ධනංජනා වික්‍රමසිංහ (මීටර 4.89)

ලෝකඩ පදක්කම්ලාභීනී
•දුර පැනීම (කාන්තා - අතක් ආබාධ හෝ අහිමි කාණ්ඩය ටී - 47)
කුමුදු ප්‍රියංකා දිසානායක (මීටර 4.76)

•යගුලිය විසි කිරීම (පිරිමි පාදයක් අහිමි දණහිසට ඉහළින් අහිමි හෝ අප්‍රාණික)
පාලිත බණ්ඩාර හල්ගහවෙල (මීටර 14.15)

 


අදහස් (0)

දිනේෂ් ප්‍රියන්තගේ ලෝක වාර්තාව ඉන්දියාව උදුරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.