Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු තේරීමේ තරගාවලිය ආයෙත්

දැල්පන්දු තේරීමේ තරගාවලිය ආයෙත්

editorial - 2022 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය සඳහා නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවලංගු කරමින් නැවැත කණ්ඩායම තෝරා ගැනීම සඳහා හෙට (9) පෙරවරු 8ට කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී නැවත විශේෂ තේරීම් තරගයක් පැවැත්වීමට ජාතික දැල්පන්දු තේරීම් කමිටුව එකඟ වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නැවත නිර්දේශ කර ගැනීම සඳහා අද කැඳවා තිබෙන තේරීම් තරගය සඳහා කලින් පැවැති අවසන් තේරීම් තරගාවලිය සඳහා සහභාගි වූ ක්‍රීඩිකාවන් 17 දෙනාම කැඳවීමටත් තීරණය වී තිබේ.

12 වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලිය ලබන සැප්තැම්බර් 4 වැනිදා සිට 11 වැනිදා දක්වා සිංගප්පූරුවේදී පැවැත්වේ. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කර ගැනීම සඳහා ඉකුත්දා සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැති අවසන් තේරීම් තරගාවලියේදී 12 දෙනකුගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ජාතික දැල්පන්දු තේරීම් කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

ඒ හැරෙන්නට අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනකු ද නිර්දේශ කර ගැණුනි. කෙසේ වුවත් එසේ අතිරේක ක්‍රීඩිකාවන් ලෙස කණ්ඩායමට නිර්දේශ කර සිටි තිළිණි වත්තේගෙදර ක්‍රීඩා ඇමැතිවරයාට ඉදිරිපත් කර සිටි අභියාචනයකින් කියා සිටියේ කණ්ඩායමේ අවසන් තේරීම් පිළිබඳව තමන්ට එකඟ විය නොහැකි බැවින් ඒ සඳහා ක්‍රීඩා ඇමැතිවරයාගේ මැදිහත්වීමක් අපේක්‍ෂා කරන බවයි.

ඒ අතර ජාතික දැල්පන්දු පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ මහත්මිය තේරීම් තරග සඳහා සහභාගි නොවූ ක්‍රීඩිකා තර්ජනී ෂිවලිංගම් ශ්‍රී ලංකා කණ්ඩායමට නිර්දේශ කරන ලෙස දිගින් දිගටම දැල්පන්දු සම්මේලනයෙන් ඉල්ලා සිටින තත්ත්වයක් තුළින්ද ජාතික තේරීම් කමිටුව නිර්දේශ කළ අවසන් තේරීම් සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් පැන නැගී තිබුණි.

වාර්තා වන පරිදි අවසන් තේරීම් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවක් ලෙසටත් නිර්දේශ ලබා ගැනීමට අපොහොසත් වූ එහි හිටපු නායිකාවක් වන මරිෂා ප්‍රනාන්දු ද අවසන් තේරීම්වලට එකඟ නොවන බව පවසමින් පැමිණිලි කර ඇත.

ජාතික පුහුණුකාරිණිය දිගින් දිගටම කණ්ඩායමට නිර්දේශ කරන ලෙසට ඉල්ලා සිටින තර්ජනී ෂිවලිංගම් ශ්‍රී ලංකා කණ්ඩායමේ දීර්ඝතම කාලයක් නිත්‍ය පන්දු විදින්නිය ලෙස කටයුතු කර තිබේ. මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ලීග් තරගාවලියකට සහභාගි වී සිටින දැනටත් ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව (අඩි 6 අඟල් 11ක් උසැති) ලෙස සැලකෙන්නේද ඇයයි.

මේ අතර අද පැවැත්වෙන විශේෂ තේරීම් තරගාවලිය සඳහා විශේෂ තාක්‍ෂණික කමිටුවකගේ අධීක්‍ෂණය ලබාගැනීමට තීරණය වී ඇත. එහි සභාපතීත්වය දරන්නේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ අයි.පී. විජේරත්න මහතාය. ඒ හැරෙන්නට අද නැවත සිදුකෙරෙන මෙම අවසන් තේරීම් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ නියෝජිතයන්ද ක්‍රීඩාංගණයට පැමිණ නිරීක්‍ෂණය කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වුවත් ජාතික දැල්පන්දු තේරීම් කමිටුවේ සභාපතිනි දමයන්ති ජයතිලක මහත්මිය අවධාරණය කර ඇත්තේ නැවත කණ්ඩායමේ අවසන් තේරීම් සිදු කරන්නේ නම් එය සිය කමිටුවේ ඍජු මැදිහත් වීම මත පමණක් සිදුවිය යුතු බවයි.

මෙම සිදුවීමට මැදිහත්ව සිටින ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන්නේ තේරීම් කමිටුවකින් තොරව තාක්‍ෂණික කමිටුවක් පෙරට දමා ජාතික කණ්ඩායමක තේරීම් සිදු කිරීම මෙන්ම දින 14කට පෙර විධිමත් පූර්ව දැනුම්දීමකින් තොරව තේරීම් කැඳවීමත් ජාතික ක්‍රීඩා පනත උල්ලංඝනය වන සිදුවීම් වන බවයි.

අද පැවැත්වෙන තේරීම් තරගය පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමකදී ජාතික තේරීම් කමිටුවේ සභාපතිනි දමයන්ති ජයතිලක මහත්මිය මෙසේ පැවැසුවාය.

“අපේ කමිටුව මුල පටන්ම අවසන් තේරීම් නැවත විධිමත් ක්‍රියාමාර්ගයකින් තොරව වෙනස් කරන්න අකැමැති වුණා. නමුත් ක්‍රීඩා ඇමැතිවරයා හෝ දැල්පන්දු සම්මේලනය වගේ පිළිගත් පාර්ශ්ව වෙතින් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුණා නම් අපි සළකා බලන්න සූදානමින් සිටියා. නමුත් පුහුණුකාරිනියන් හෝ ක්‍රීඩිකාවන් සැරෙන් සැරේ තැන් තැන්වලට ගිහිල්ලා පැමිණිලි කළාට අපිට වගකීම් දරන්න බෑ. තර්ජනී ෂිවලිංගම්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපේ ස්ථාවරයත් එයමයි.”

කලින් නිර්දේශ කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ලෙස ගයංජලී අමරවංශත් උපනායිකාව ලෙස දුලාංගි වන්නිතිලකත් නිර්දේශ කර තිබුණි.


අදහස් (0)

දැල්පන්දු තේරීමේ තරගාවලිය ආයෙත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.