Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු කණ්ඩායම සයකොන් ආරාධිත තරගාවලියට

දැල්පන්දු කණ්ඩායම සයකොන් ආරාධිත තරගාවලියට

editorial - 2023 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

නව නායිකාවක් හා නව පුහුණුකාරිණියක් යටතේ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු  කණ්ඩායම සිංගප්පූරුවේදී පැවැත්වෙන සයකොන් ජාත්‍යන්තර ආරාධිත දැල්පන්දු තරගාවලියට සහභාගිවීම සඳහා ඔක්තෝබර් 20 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට  නියමිතය. තරගාවලිය ඔක්තෝබර් 22 සිට 28 වැනිදා දක්වා එහිදී පැවැත්වේ.

දුලංගි වන්නිතිලකගේ නායකත්වය යටතේ හා පී.ඩී.එන්. ප්‍රසාදි  මහත්මියගේ පුහුණු උපදේශකත්වය යටතේ පළමු වතාවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාවේ විශේෂත්වය වන්නේ සිංගප්පුරුවේදී පැවැත්වෙන මෙම ආරාධිත ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි වන්නේ වසර 2013න් පසුව වීමයි.

මෙතෙක් ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය ලෙස කටයුතු කළ තිලකා ධම්මිකා ජිනදාස මෙනවියගේ සේවය දකුණු අප්‍රිකාවේදී පසුගිය (2023) ජූලි 28 වැනිදා සිට අගෝස්තු 6 වැනිදා දක්වා පැවති 16 වැනි ලෝක දැල්පන්දු  කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවේ සහභාගිත්වයත් සමග අවසන් විය.

එහිදී ඇගේ සේවය තවදුරටත් දීර්ඝ නොකිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ විධායක සභාව තීන්දු කළේය. ඒ වෙනුවට සිංගප්පූරු ආරාධිත තරගාවලිය සඳහා එතෙක් සහය පුහුණුකාරිණිය ලෙස කටයුතු කළ ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක්ද වන පී.ඩී.එන්. ප්‍රසාදි මහත්මිය නිර්දේශ කර තිබේ.

ඒ අතර ලෝක කුසලාන තරග සංචාරයෙන් පසුව එතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ ගයංජලි අමරවංශ ඉන් ඉවත් කිරීමටත් සිංගප්පූරු තරග සංචාරයේදී කටයුතු කර තිබේ. 
ලෝක කුසලාන තරගාවලියේදී දෙවැනි වටයේ තරගයකදී ‘බාබඩෝස් කණ්ඩායම සමග පැවැති තරගය (60-56) පමණක් ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් (16) වැනි ස්ථානයට පත්විය.

එහිදී ජාත්‍යන්තර තරග බිමේ සිය ප්‍රධානතම ප්‍රතිවාදිනිය වන සිංගප්පූරුවට දෙවතාවක්ම පරාජය වීමට සිදුවූ ශ්‍රී ලංකාවට එම අවමානයෙන් ගැලවීම සඳහා නුදුරේදීම අවස්ථාවක්  හිමිව තිබේ.
එහිදී ශ්‍රී ලංකාවේ අවමානය දැඩිවූයේ ලෝක කුසලාන තරගාවලියේදී දෙවතාවක්ම පරාජය වුවත් පැවැති (2022) ආසියානු දැල්පන්දු ශූරතාවලියේදී දෙවතාවක්ම සිංගප්පූරුව පරාජය කිරීමට ශ්‍රී ලංකාව  සමත්වීමයි.

එහිදී අවසන් මහ තරගයේදී සිංගප්පූරුව පරාජය කරමින් ආසියානු කුසලාන දිනා ගැනීමටද ශ්‍රී ලංකාව සමත් විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය වූයේ හයසින්ත් විජේසිංහ මහත්මියයි.

මේ අතර ශ්‍රී ලංකාව ආරාධිත දැල්පන්දු තරගාවලියට  සහභාගිවීමේදී නායකත්වය පුහුණු උපදේශකත්වය වෙනස්වීම හැරෙන්නට තවත් විශේෂ වෙනස්කමක් ගෙන තිබේ. 

ඒ මෙතෙක් නිත්‍ය පන්දු විදින්නියක ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ලෝක කුසලාන තරගාවලිය දක්වා සේවය ලබා දුන් තර්ජනී ෂිවලිංගම් එයින් පසුව  තරග බිමෙන් සමුගැනීමට ගත් තීරණයයි.

ඇය අන්තර් ජාතික වශයෙන්ද දැඩි අවධානයක් දිනා ගත්තේ වසර 2009 සිට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටි ඇය ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකීමයි. 45 හැවිරිදි විය වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගත කළ ඇගේ අඩි 6 අඟල් 9ක් වන (සෙන්ටිමීටර 206)  අසාමාන්‍ය උස ඇය ජාතික දැල්පන්දු කණ්ඩායමට  බඳවා ගත් ප්‍රධානතම සුදුසුකම වූවාය.

 සත්කාරක සිංගප්පූරුව මෙම තරගාවලියට සිය ජාතික කණ්ඩායම හැරුණු විට ‘ඒ’ කණ්ඩායමද සහභාගි කරයි. පැපුවා නිව්ගිනියාව, කුක් දූපත් සහ කැනඩාව, තරගාවලියට එක්වන සෙසු රටවල් වෙති. වසර 2007 සිට ශ්‍රී ලංකාව අවස්ථා පහකදී තරගාවලියට සහභාගි වුවත් එහිදී ඉහළම දක්ෂතාවය ලෙස පෙන්වා ඇත්තේ 4 වැනි ස්ථානයට පත්වීමයි.

 

සයකොන් සිංගප්පූරු ආරාධිත දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම -
දුලංගි වන්නිතිලක (නායිකා), ගයංජලි අමරවංශ, ගයනි දිනායක, සේමිනි ද අල්විස්, රෂ්මි පෙරේරා,  බාෂිනී ද සිල්වා, ඉමේෂා පෙරේරා, සුසීමා බණ්ඩාර, සචිනි රුද්‍රිගු, රුක්ෂලා හපුආරච්චි, හංසිමා දිසානායක, චලනි නිසා, 
අතිරේක:- 
ෂානිකා පෙරේරා, රෂ්මි ඔබේසේකර, ගයාත්‍රි කෞශල්‍යා.  


අදහස් (0)

දැල්පන්දු කණ්ඩායම සයකොන් ආරාධිත තරගාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.