Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තෑගි නැතිව පදක්කම්ලාභීහු කනස්සල්ලෙන්

තෑගි නැතිව පදක්කම්ලාභීහු කනස්සල්ලෙන්

editorial - 2024 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීනයේ ‘හංජෝ’ නුවරදී පැවැති 2022 ආසියානු ක්‍රීඩා උළෙල හා එහි පැරා ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය අනුග්‍රහයෙන් මූල්‍යමය ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රානාන්දු මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වුවත්, ඒ සඳහා මීට පෙරත් ක්‍රීඩා ඇමැති ධුරය දරමින් සිටියදී රොෂාන් රණසිංහ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බව වාර්තා විය.

මෙසේ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබාදෙන දිරි ගැන්වීම් ප්‍රමාද වීම ගැන පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කනස්සල්ලට පත්ව සිටින බව ද වාර්තා වේ.

චීනයේ ‘හංජෝ නුවරදී පැවැති (2022) 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල වසරක ප්‍රමාදයකින් පසුව පැවැත්වුණේ, 2023 සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වාය. එහිදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් රන් පදක්කමක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තේය.

එහිදී ක්‍රිකට් (කාන්තා) ඉසව්වෙන් ද ශ්‍රී ලංකාව රිදී පදක්කමක් දිනා ගත්තේය. අනතුරුව හංජෝ නුවරදීම සමගාමීව පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ඉසව් කිහිපයකින් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් පහක් හා ලෝකඩ පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් විය.

ආසියානු ක්‍රීඩා හා එහි පැරා ක්‍රීඩා ශ්‍රී ලංකා පදක්කම්ලාභීන්ට රුපියල් ලක්ෂ 50 සිට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ මුදල් නොමැති බැවින් කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගැනීමටත්, ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගැනීමට කටයුතු කරන බවත්, ක්‍රීඩා ඇමැති ධුරය දරමින් සිටියදී රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වුවත්, හංජෝ ආසියානු ක්‍රීඩා පැරා ක්‍රීඩා පදක්කම්ලාභීන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් මුදල් තිළිණ ප්‍රදානය කෙරුණි. එහිදී ආසියානු ක්‍රීඩා රන් පදක්කම්ලාභී මලල ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්නට රුපියල් කෝටියක් ප්‍රදානය කෙරුණි.


අදහස් (0)

තෑගි නැතිව පදක්කම්ලාභීහු කනස්සල්ලෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.