Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරුෂි තරග සංචාර හතරක් ඉල්ලයි

තරුෂි තරග සංචාර හතරක් ඉල්ලයි

editorial - 2024 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පැරිස් ඔලිම්පික් (2024) නිර්දේශ කරගැනීමේ අභිප්‍රායෙන් ආසියානු රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න මැයි හා ජුනි අතර කාලසීමාවේදී පැවැත්වෙන අන්තර්ජාතික තරගාවලි හතරකට සහභාගි වීමේ අනුමැතිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව, මැයි 3 වැනිදා ඩුබායි නුවරදී පැවැත්වෙන එමීර් රාජ්‍ය ගෝන්ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලිය, මැයි 10 වැනිදා කටාර්හිදී පැවැත්වෙන ඩෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය, මැයි 28 වැනිදා පැවැත්වෙන ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්ෆයික් තරගාවලිය සහ ජුලි 23 වැනිදා පෝලන්තයේ පොස්නාන්හිදී පැවැත්වෙන කැස්ලව් සිබුල්ස්කි අනුස්මරණ තරගාවලියට සහභාගි වීම සඳහා ඇය අනුමැතිය ඉල්ලා තිබේ.

ප්‍රංශයේ පැරිස් නුවරදී මීළඟ ඔලිම්පික් උළෙල ජුලි 26 වැනිදා සිට අගෝස්තු 11 වැනිදා දක්වා පැවැත්වේ. ඒ සඳහා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිර්දේශ ලබා ගැනීමේ අවස්ථාව ජුනි 30 වැනිදා දක්වා හිමිව තිබේ.

මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් උළෙල සඳහා නිර්දේශ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වන, 20 හැවිරිදි තරුෂි දිල්සරා කරුණාරත්න එහි ඇගේ මෙතෙක් හොඳම දක්ෂතාව දක්වා ඇත්තේ විනාඩි 2යි තත්පර 0066කි.

පැරිස් ඔලිම්පික් උළෙලේ නිර්දේශය සඳහා එහිදී එම ඉසව්වෙන් අවම විනාඩි 1යි තත්පර 59.2ක දක්ෂතාවක් ක්‍රීඩිකාවන් පළ කළ යුතුය. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තරුෂි මේ වන විට මීටර 200 (කාන්තා) ඉසව්වේ 67 වැනි ස්ථානයේ පසු වේ.

පසුගියදා නිමාවට පත්වූ උසස් පෙළ විභාගයට වාණිජ විෂයයන්ගෙන් පෙනී සිටි ඇය, මේ වන විට දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී ඇගේ පෞද්ගලික පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා යටතේ නැවත දෛනික පුහුණුවීම් ආරම්භ කර ඇත.

මේ අතර, කොන්දේ පැවැති සුළු ආබාධ තත්ත්වයකට විදේශයකට ගොස් ප්‍රතිකාර ගැනීමේ අදහස ඇය මේ වන විට අත්හැර දමා තිබේ. ඒ අතර, විදේශගතව පුහුණුවීම් හැදෑරීම වෙනුවට තවදුරටත් සුසන්ත ප්‍රනාන්දු මහතා යටතේ මෙරටදී පුහුණුවීම් දිගටම පවත්වාගෙන යාමට ඇය තීරණය කර තිබේ. සුසන්ත ප්‍රනාන්දු මහතා, තරුෂි 12 හැවිරිදි වියේ සිටම ඇගේ  පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කරයි.

බැංකොක් ආසියානු ශූරතාවලිය, (විනාඩි 2යි තත්පර 0066), හංජෝ ආසියානු ක්‍රීඩා උළෙල (විනාඩි 2යි තත්පර 03.20), යෙචියොන් ආසියානු වයස 20න් පහළ තරගාවලිය (විනාඩි 2යි තත්පර 05.64) යන ඇය 2023 වසරේදී සහභාගි වූ අන්තර්ජාතික තරග මාලා තුනකදීම පිට පිටම මීටර 800 (කාන්තා) රන් පදක්කම් දිනාගත් ඇය, ආසියානු ක්‍රීඩා මලල ක්‍රීඩා තරගාවලියේදී ජය ගත්තේ, එහි වසර 25ක් පැරැණි වාර්තාවක් බිඳ දමමිනි.

උසස් පෙළ විභාගයට පෙර ඇය සිය අවසන් අන්තර් පාසල් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වෙමින් කොළඹ සුගතදාස පිටියේදී පැවැති 2023 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වෙමින් මීටර් 400 (බාලිකා) වයස 20න් පහළ ඉසව්ව ජය ගත්තාය.

වසර 2023 දී ඇය සහභාගි වූ ප්‍රධානතම ආසියානු මලල ක්‍රීඩා තරගාවලි (ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ) තුනකදී සහාය දිවීමේ ඉසව්වලින් ද ඇතුළුව රන්, රිදී හා ලෝකඩ පදක්කම් අටක් දිනා ගැනීමට සමත්ව තිබේ.

2023 වසරේදී එම සියලු ජාත්‍යන්තර ජයග්‍රහණ ලබන විට ඇය වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහලේ ඉගෙනුම ලැබූ, 19 හැවිරිදි වියේ පසු වන සිසුවියක් වීම කැපී පෙනුණුම සිදුවීමයි.


අදහස් (0)

තරුෂි තරග සංචාර හතරක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.