Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ක්‍රීඩා දින දසුනට දේශීය ක්‍රිකට් තරගමාලා 26 ක්

ජාතික ක්‍රීඩා දින දසුනට දේශීය ක්‍රිකට් තරගමාලා 26 ක්

editorial - 2024 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ක්‍රීඩා දින දසුන (2024) එළිදැක්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබේ. එහි විශේෂත්වය ජාතික ක්‍රීඩා සංගම් හැරෙන්නට ක්‍රීඩා අමාත්‍යාංශය හා රේඛීය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ක්‍රීඩා ආයතන හා සංවිධානයන්හි 2024 ට නියමිත සැලසුම් එළිදක්වා තිබීමයි.

ජාතික ඔලිම්පික් කමිටුව හා ශ්‍රී ලංකා පැරලිම්පික් කමිටුවේ 2024 ට නියමිත වැඩසටහන් හා තරග සම්බන්ධීකරණ සැලසුම් එහි අඩංගුවීමයි.

ඒ අනුව මෙම 2024 වසරේ දේශීය තරග මාලා, වැඩසටහන්, වැඩමුළු, ජාත්‍යන්තර තරග සහභාගීත්වය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සත්කාරය සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා දින දසුනේ තොරතුරු අඩංගු වේ.

2024 ජාතික ක්‍රීඩා දින දසුනට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය තරගමාලා 26ක් සංවිධානය කරන අතර ජාත්‍යන්තර තරගමාලා 17කට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සූදානම් කර ඇත.

ඒ අතර ජුනි 1 වැනිදා සිට ජූලි 1 වැනිදා දක්වා ඇමරිකාවේදී හා කොදෙව් දූපත් රාජ්‍යයේදී පවැත්වෙන අයි.සී.සී. විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියද වේ.

ජාතික ඔලිම්පික් කමිටුව මෙම වසරට දේශීය වැඩසටහන් 14ක් සංවිධානය කර තිබෙන අතර ජූලි 26 වැනිදා ආරම්භ වන පැරිස් ඔලිම්පික් උළෙල ඇතුළුව ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල පහක සහභාගීත්වය දක්වා තිබේ. ඒ අතරට ජාත්‍යන්තර පුහුණු පාඨමාලා 12ක සහභාගීත්වයක්ද එමගින් දක්වා තිබේ.

ජාතික ක්‍රීඩා දින දසුනට අනුව ජාතික ක්‍රීඩා විද්‍යායතනය මෙම වසරට සංවිධානය කෙරෙන ක්‍රීඩා පුහුණු පාඨමාලා හා වැඩමුළු ගණන 31කි. මෙරට ජාත්‍යන්තර පදක්කම් දිනා ගන්නා ප්‍රමුඛතම ක්‍රීඩා ඉසව්වක් වන මලල ක්‍රීඩා ඉසව්ව යටතේ 2024 වසරේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ජාත්‍යන්තර තරගමාලා 27කට ආසන්න ගණනක් කෙරෙහි අවධානය යොමුකර තිබේ.

මෙම දින දසුනට අනුව ශ්‍රී ලංකා රග්බි සංගමය දේශීය තරග මාලා හා වැඩසටහන් 26 ක් ද හා ජාත්‍යන්තර තරගමාලා හතක සහභාගීත්වයට සැලසුම් ඉදිරිපත් කර තිබේ.

ආසන්න වශයෙන් ලබන අප්‍රේල් 1 වැනිදා නවසීලන්ත (කිලෝග්‍රෑම් 85 – පිරිමි) රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය දක්වා තිබේ.

ශ්‍රී ලංකාව පදක්කම් අපේක්‍ෂාවෙන් පසුවන බර ඉසිලීම් ක්‍රීඩා ඉසව්ව යටතේ ක්‍රොඒෂියාවේදී ලබන ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන ලෝක ශූරතාවලිය හැරෙන්නට ආසියානු ශූරතා තරගාවලි තුනක් ඇතුළුව තරග මාලා නවයකට සහභාගීවීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය සැළසුම් කර ඇත.

ජාතික තරග මාලා පහකට 2024 සැලසුම් කර ඇති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ජාත්‍යන්තර තරගාවලි 10කට වොලිබෝල් හා වෙරළ වොලිබෝල් ක්‍රීඩා ඉසව් යටතේ සහභාගීත්වයට අවධානය යොමු කර ඇත.

ඒ අතර බහරේන් හා තායිලන්තයේදී පැවත්වෙන ආසියානු ශූරතා කාන්තා හා පිරිමි වොලිබෝල් තරග මාලා දෙකද වෙයි. ලබන අගෝස්තු හා ඔක්තෝබර් යන මාසවලදී පැවැත්වෙන වයස 20න් පහළ ආසියානු වොලිබෝල් ශූරතා තරගාවලිය හා ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය සඳහා සත්කාරය දැරීමටද එහිදී ශ්‍රී ලංකාව සැලසුම් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය 2024 ජාතික ක්‍රීඩා සැලැස්මට දේශීය තරග 18ක් එක්කර තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපැදි තරග සහභාගීත්වයට අන්තර් ජාතික පාපැදි සම්මේලනයෙන් සීමා පැනවී තිබුණත් 2024 ජුනි 5වැනිදා කසකස්තානයේදී ආරම්භවන ආසියානු ශූරතා මාර්ග ධාවන තරගාවලිය ඇතුළුව ජාත්‍යන්තර තරග පහකට සහභාගීවීමේ ඇති හැකියාව පිළිබඳව මෙරට පාපැදි සම්මේලනය විශ්වාසය තබා ඇත.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය මෙම වසරට සූදානම් කර තිබෙන 48 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල ජූලි 17 සිට 19 වැනිදා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියේ නිමාවත් සමග පවත්වා අවසන් කිරීමට 2024 ජාතික ක්‍රීඩා දින දසුනෙන් අපේක්‍ෂා පළ කර තිබේ.

 


අදහස් (0)

ජාතික ක්‍රීඩා දින දසුනට දේශීය ක්‍රිකට් තරගමාලා 26 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.