Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ඔලිම්පික් කමිටුවට නිර්දේශ 12 ක්

ජාතික ඔලිම්පික් කමිටුවට නිර්දේශ 12 ක්

editorial - 2024 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
 
පාර්ලිමේන්තුවේ දී ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් මෑතක දී ප්‍රකාශ වූ අදහස් සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් මගින් සිදුකළ විමර්ශනයේ වාර්තාවෙන් ජාතික ඔලිම්පික් කමිටුව  ඉදිරියේ දී කළ යුතු නිර්දේශ 12ක් දක්වා තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් කීපදෙනෙකුට දූෂණ චෝදනා එල්ල කරමින් පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් කීපදෙනෙකු කළ  ප්‍රකාශයක් අළලා  විමර්ශනයක් කරන ලෙස ඉල්ලීම ඉදිරිපත් වූයේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා වෙතිනි.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා විමර්ශන කමිටුවේ සභාපති ධුරය දැරීය. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති, ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ හිටපු  ප්‍රධානි ජගත් ෆොන්සේකා හා විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති එන්.ආර්.එම්. ධර්මසිරි යන මහත්වරු එහි සාමාජිකයෝ වූහ.

මෙම අභ්‍යන්තර විමර්ශන කමිටුව  ක්‍රීඩා පනතේ තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව කළ පත් කිරීමක් බවත් එහිදී ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබුණි. කමිටු  වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් පිළිබඳව මාර්තු 16 වැනිදාට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කිරීමට පියවර ගත යුතු  බවත් විමර්ශන වාර්තාවේ දක්වා තිබේ.

මෙම කමිටු වාර්තාව පිළිබඳව ‘ලංකාදීපය’ කළ විමසුමකදී අදහස් දැක්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සිය කමිටුවේ නිලධාරීන්ගේ නම් සඳහන් කරමින් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයකු විසින් බරපතළ දූෂණ චෝදනා එල්ල කිරීමට උත්සාහ ගත්තත් මෙම විමර්ෂණ වාර්තාවෙන් ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන්ට එල්ල කළ  එම චෝදනා කිසිවක් සනාථ වී නැතැයිද පැවසීය.

එය පාර්ලිමේන්තු වරප්‍රසාදවලින් ඇති කර තිබූ  ප්‍රතිඵලයක් පමණක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. කමිටු වාර්තාවක් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති මහලේකම් හා භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතා ආමන්ත්‍රණය කර තිබුණි.

 

කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ලුහුඬින් මෙසේය.

ඔලිම්පික් ප්‍රඥප්තියට හා මූලධර්මවලට අනුව යමින් ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ සාමාජිකයන් අතර සමගිය පවත්වාගෙන යාම හා ගැටුම් හා ගැටළු කඩිනමින් විසඳා ගැනීමේ ක්‍රමවේද කඩිනමින් හඳුනා ගැනීම,

ක්‍රීඩා වැරදි සිදුවීම්වලදී  වරදකරුවන් වන පුද්ගලයන්ගේ නාමලේඛනයක් ජාත්‍යන්තර වශයෙන් හා ජාතික වශයෙන් ප්‍රකාශයට පත් කිරීම,

ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදෙන ඇප කොන්දේසි දැඩි කිරීම හා යුරෝපයේ තරග අවස්ථා සඳහා ඔවුන් සහභාගි වන අවස්ථාවන්හිදී තරග පැවැත්වෙන කාලසීමාව සඳහා පමණක් ඔවුන්ට වීසා නිකුත් කිරීම,

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආර්ථික තත්ත්වය නැංවීමට ඔලිම්පික් කමිටුව හා ජාතික ක්‍රීඩා සංගම් අතර නිසි සම්බන්ධීකරණයක්  ගොඩනැගීම,

ජාත්‍යන්තර තරග සංචාර සඳහා සහභාගිවන ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ට වියදම් දරන කාර්ය සඳහා ගෙවීම් ලබාදීම එකවරකට පමණක් සීමා කළ යුතුය.

 

එම වියදම් වාර්තා නිසි පරිදි ගිණුම්ගත කළ යුතුය.

වසර 2016 ‘රියෝ’ ඔලිම්පික් උළෙල  සඳහා මුදල් කමිටු වාර්තාවේ නිර්දේශ මත එහි සභාපතිවරයා හා මහ ලේකම්වරයාට රුපියල් 633,419ක් හා 361,141ක් වන මුදලක් නැවත ගෙවීම අත්හිටුවිය යුතුය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොවන පුද්ගලයන් ආසියානු ක්‍රීඩා, ඔලිම්පික් ක්‍රීඩා, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ආදි ප්‍රධානතම ජාත්‍යන්තර තරගාවලි  සඳහා සහභාගිවීමේදී ඒ සඳහා අනුමත ක්‍රමවේදයක් ඔලිම්පික් කමිටුව විසින් සකස් කළ යුතුය.

ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වන සියලුම පාර්ශවලට අයත් ක්‍රීඩක ක්‍රිඩිකාවන් නිලධාරීන් හා වෙනත්  අවශේෂ වන පුද්ගලයන් සියලු  දෙනාම ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කිරීම.

ඔලිම්පික් උළෙල ඇතුළු ඉහළම තලයේ ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජීවිත කාලය තුළදීම රැක බලා ගැනීමේ  ක්‍රමවේදයක්  ජාතික  ඔලිම්පික් කමිටුව විසින් ක්‍රියාත්මක කළ යුතුය.

ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වෙමින් සිටියදී විදේශයන්හිදී අතුරුදන් වන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාත්‍යන්තර  ඔලිම්පික් කමිටුව ඇතුළු සුවිශේෂ ජාත්‍යන්තර සංවිධාන සමග සම්මුතියකට පැමිණීම.

සිය මූල්‍ය  ගනුදෙනු සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර ප්‍රමිතියට යටත්  නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

2024 ඔලිම්පික් උළෙල යෙදී තිබෙන තීරණාත්මක වසරක් බැවින් ඒ  සඳහා ශ්‍රී ලංකාවේ සූදානමට ධනාත්මක ක්‍රියාකාරි සබඳතාවයක් ඇති කිරීමට ජාතික  ඔලිම්පික් කමිටුව එහි සභාපති හා ලේකම්වරයාගේ මූලිකත්වයෙන් කටයුතු  කළ යුතුය.


අදහස් (0)

ජාතික ඔලිම්පික් කමිටුවට නිර්දේශ 12 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.