Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජස්වර් අවුරුදු දෙකක් ඉල්ලයි

ජස්වර් අවුරුදු දෙකක් ඉල්ලයි

editorial - 2022 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීට පෙර සිටි සභාපතිවරුන් කටයුතු කළ ආකාරයට තමාටත් නිලවරණයකින් තොරවම, වසර දෙකක නිල කාලයක් හිමිවිය යුතු බව අවධාරණය කරමින් එහි  වත්මන් සභාපති ජස්වර් උමාර් මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට  ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වත්මන් සභාපති ජස්වර් උමාර් මහතා ඇතුළු එහි වත්මන් විධායක සභාව පසුගිය ජුනි 30 වැනිදා පැවැති නිලවරණයේ දී පත්වූයේ වසරක කාලයක් සඳහා පමණක්  යයි එහිදී ප්‍රකාශයට පත්විය. ඒ අනුව ප්‍රකාශ වූයේ පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය මේ වසරේ මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු බවයි. ඊට පෙර ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ව්‍යවස්ථාව අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ රේගුලාසි හා වගන්තිවලට අනුගත වන ආකාරයෙන් සංශෝධනය කර ගන්නා බව ද පසුගිය වසරේදී නිවේදනය කෙරිණ. 

ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන්නේ නම්, ශ්‍රී ලංකා  පාපන්දු ආයතනයේ නිලවරණයකින් පත්වන විධායක සභාවේ නිල කාලය  සිව් වසරක් දක්වා දීර්ඝ කෙරේ. ඒ අතර නිලවරණයට සහභාගි කර ගන්නා ඡන්ද ඒකක (ලීග) වෙත පිරිනැමෙන ඡන්ද ගණන ද සීමා කෙරේ. තවත් විශේෂ වෙනස්කමක් වන්නේ ප්‍රධාන ලේකම් ධුරය විධායක සභාවට වග නොකියන වැටුප් ලබන තනතුරක් වීමයි.

ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබිය දී වත්මන් සභාපතිවරයා වසර දෙකක් වන සේවා දිගුවක් ඉල්ලා තිබේ.

යාපනය ‘අරියාලේ’ ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයේ පැවැති ‘ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ’ මධ්‍යම කමිටු රැස්වීමේදී වත්මන් සභාපතිවරයාගේ විධායක සභාවේ නිල කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට ඒකමතිකව අනුමැතිය ලැබී තිබේ. ඒ සඳහා ලීග් 53 ක නියෝජිතයෝ අරියලේ ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයට රැස්ව සිටියහ. 

පොල්ගහවෙල පාපන්දු ලීගයේ වත්මන් සභාපතිවරයකු වන ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපති අනුර ද සිල්වා මහතා ද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර සිටියේය. 

මේ සම්බන්ධයෙන් අරියාලේ දී පැවති මාධ්‍ය හමුවක දී වත්මන් පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා මෙසේ ද පැවසීය.

‘‘මම පත්වුණේ වසරකට සීමා වන නිල කාලයකට කියන එක සත්‍යයක්. නමුත් මට පෙර කටයුතු කළ සියලුම සභාපතිවරුන් ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව, අවම වශයෙන් වසර දෙකක නිල කාලයක් ගත කළා. ඒ අතර හිටපු සභාපති අනුර ද සිල්වා මහතා එක දිගට වසර හයක්ම සභාපති ධුරයේ කටයුතු කළා.“

“ඒ නිසා ‘අරියාලේ’ කවුන්සිල් රැස්වීමට සහභාගි වුණු සියලු ලීග් නියොජිතයන් ඒකමතිකව පිළිගත්තා මේක නොවුණොත්, මට විතරක් වෙනස් ආකාරයකින් සැලකිම,  ආසාධාරණ ක්‍රියාවක් කියලා.’’

වත්මන් සභාපතිවරයා සිය නිල කාලය වසරකින් දීර්ඝ කළ යුතු බවට කර තිබෙන ඉල්ලීමට හේතුවූ කරුණු සාධාරණීය කරමින් මේ වනවිට අන්තර් ජාතික පාපන්දු සම්මේලනයට හා ආසියානු පාපන්දු සමුළුවට ද ලිපි යොමුකර තිබේ. 

මීට පෙර අවස්ථාවකදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයකු වන එහි වත්මන් උප සභාපති රංජිත් රුද්‍රිගු මහතා පාපන්දු ආයතනයේ නිලවරණයකින් පත්වන විධායක සභාවක නිල කාලය පිළිබඳව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කරුණු පැහැදිලි කිරීමක්  ඉල්ලා තිබුණි. එහිදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිංහ මහතා අවධාරණය කර තිබුණේ ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව පාපන්දු ආයතනයේ පත්වන විධායක සභාවක නිල කාලය වසරක් ඉක්ම විය යුතු නැති බවයි.

අරියාලේදී පැවැති මධ්‍යම කමිටු රැස්වීමට පාපන්දු ලීග 64කට අයත් නියෝජිතයන්ට ආරාධනා කර තිබුණු බව ද වාර්තාවේ. 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ලෙස වසර ගණනාවක් හැඳින්වුණු නිල නාමය ‘ශ්‍රී ලංකා පාපන්දු’ (ආයතනය) ලෙස සංශෝධනය වූයේ පසුගිය 2021 වසරේ සිටය. 

 


අදහස් (0)

ජස්වර් අවුරුදු දෙකක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.