Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ග්‍රීන්ස් ක්‍රීඩකයෝ දෙවැනි ජයත් ලබති
ශ්‍රී ලංකා වි-20 ලීගය

ග්‍රීන්ස් ක්‍රීඩකයෝ දෙවැනි ජයත් ලබති

editorial - 2025 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි-20 ලීග තුන් කොන් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ග්‍රේස් කණ්ඩායම සහ ග්‍රීන්ස් කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (10 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ග්‍රීන්ස් කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය ග්‍රීන්ස් ක්‍රීඩකයෝ ඕවර 16.4 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 52 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. 

භානුක රාජපක්ෂ (38) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මිෂාර, ඉන් නොනැවතී සදීර සමරවික්‍රම (නොදැවී 36) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. 

එහිදී පන්දු 20 කට මුහුණදුන් භානුක හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 23 කදී වාර්තා වූ සදීරගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. පවන් රත්නායක පන්දු 15 කින් ලකුණු 17 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ග්‍රේස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 163 ක් ලබාගත්තේය. ග්‍රේස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 37 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 52 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.  

ග්‍රේස් පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා අනගි පන්දු යැවීමක නිරත වූ ග්‍රීන්ස් නායක කමිඳු මෙන්ඩිස් සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමින් කඩුලු 2 ක් බිඳහෙළුවේය. එහිදී කඩුලු 2 ක් දවාගැනීමට නුවන් තුෂාරද සමත් වූ නමුත් ඔහු යැවූ ඕවර 4 තුළ ලකුණු 42 ක් රැස්කිරීමට ග්‍රේස් පිතිකරුවෝ සමත් වූහ. 


ග්‍රේස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 163  
(නිරෝෂන් දික්වැල්ල 52, දිනේෂ් චන්දිමාල් 14, ළහිරු උදාර 18, නුවනිඳු ප්‍රනාන්දු 22, චරිත් අසලංක 13, චමිඳු වික්‍රමසිංහ 14, කමිඳු මෙන්ඩිස් 14/2, නුවන් තුෂාර 42/2) 

ග්‍රීන්ස් පිල - ඕවර 16.4 කදී කඩුලු 5 ක් දැවී 165  
(කමිල් මිෂාර 52, භානුක රාජපක්ෂ 38, සදීර සමරවික්‍රම 36, පවන් රත්නායක 17, විජයකාන්ත් වියස්කාන්ත් 24/2) 

 


අදහස් (0)

ග්‍රීන්ස් ක්‍රීඩකයෝ දෙවැනි ජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.